Follow by Email

Saturday, April 7, 2018

දානෙට යාම, ට්‍රැපික් පෙරහැර, මාර්ග නීති සහ දිගංචියා අතුරුදහන් වීම (Attending to alms giving, traffic Perahera, traffic law and disappeared tall man)

දං දීම සෑහෙන පින් සිදුවන දෙයක් බව දහම් පාසලේ දී අපට කියා දී තිබුණත් මේ දං දීම කියන්නේ ලඳු කැලෑ වල හැදෙනා දං ගහෙන් කඩාගන්නා දං ගෙඩි දීම ද, පාට පෙට්ටියේ තියෙන අපි කැමතිම පාට වන දං පාට කෑල්ල කාට හරි දීම ද යන්න හරි හැටි වටහාගන්න මට ඉස්කෝලෙ හතරෙ පන්තියටම යන්නට සිදු විය.

පහුගියදාක අපේ නැන්දම්මාට ද දනක් දෙන්නට හිතුනේය. සාංගික දනක් දෙන්නට නං හක්කේ දතක් විදුරුමහ පිටින්ම යන බැවින් මේ දන සැර බාල කොට දීම යුක්ති සහගත බව මට සිතුනේය. ඒ වුනත් එ් බව අම්මලා දූලාට පහදා දීම සෑහෙන්න අමාරුය. ඒ

"ඔය අනික් මිනිස්සුත් ඕන හැටියෙ දෙන්නෙ. අපිට බැරි වෙන්නෙ මොකෝ"

කියා අහන හන්දාය. ඒ නිසා කරුණු පැහැදිලි කරන්න ඕනෑ මෙන්න මෙහෙමය.

 සාංගික දනක් දෙන්ට ගිය විට හැම එකම හොඳම එකෙන් ඕනෑය. මාලු ලැල්ලෙං මාලු නොගෙනත් බේරුවල වැල්ලටම යන්ට ඕනෑය. ඒකටත් වෙනම බාජනයක් හරි රිජිපෝං පෙට්ටියක් හරි ගන්ට ඕනාය. රිජිපෝම් පෙට්ටි හෙන ගනං ය. පනිට්ටුවක දාගෙන ආවොත් පියන හුළඟෙ යන්නට පුළුවන්ය. අල, බෝංචි, කැරට් ආදී 'ඉංගිරිස් එලෝලු' නුවර එලියේ පාත්ති වලින්ම ගේන්න ඕනෑය. උයන්නට විසාල රාස්පාන්, හැඳි, චාච්චි, ගේන්ට ඕනාය. ඒ රාස්පාන් තියන්ට ලොකු ලිප් හදන්ට ගල්වැටි පෙරල පෙරලා ගිජ්ජකූට වර්ගේ ගල් ගේන්ට ඕනාය. ඒ ගල්වලින් හදන ලිප්වලට පුරවන්ට දරට ගන්නට මහ සබර ගස් පෙරලා පලන්ට ඕනාය. නෑයන්ට, ගමේ අයට, යාලුවන්ට දානෙ බලන්නට එන්න කියා ආරාධනා කරන්න ඕනාය. දානෙ බලන්ට එන අයට ඉන්ට හට් ගහන්ට ඕනාය. හට් ඇතුලෙ ඉඳගන්න පුටු ඕනාය. පුටුවෙ ඉඳං ඉන්න ගමං කන්න බුලත් විට ඕනාය. එව්වා දා තියන්ට ඉලත්තට්ටුවක් ඕනාය. බුලත් විට කන අය මිදුලේ මුළු වසම්ම බුලත් කෙළ ගහනවාය. එව්වා සුද්ද වෙන්ට මුරුගසං වරුසාවක්ම වහින්න ඕනෑය.

ඒ මදිවාට දානෙට පිඟං, කෝප්ප, පීරිසි, හැඳි, බුජං, පළඟාං, පඩික්කං ආදී පාරිභෝජ්‍ය භාජන ඕනාය. දං බෙදංන කෙහෙල් කොල කපන්න ඕනාය. කෙහෙල් කොල රවුං කපන්න අච්චුවට පිඟං ඕනාය. පිහි ඕනාය. ස්වාමීන් වහන්සේලා වඩම්මන්න වෑන් ඕනාය. සමහර පන්සල්වලට යන පාරවල් සවුත්තු හංදා ඒවායේ යවන්ට වෑං කාරයාට වඳින්ට ඕනාය. කුඩා පන්සල්වලින් දෙතුන් නම වඩම්මන්න කොලපත්ගොටු යවන්ට ඕනාය. උයන්ට කෝකිං ඕනාය. කෝකින්ට බොන්ට ගල් නැත්තං ඕල්ඩ් ඕනාය. කෝකින්ට ඒවා දෙනවානං දානෙ බලන්න එන අයටත් දෙන්න ඕනාය. එව්වා අන්තිමට යංකිසි විදියකින් බෑනාටත් ගෙදර මහ මිනිහාටත් පෙවෙන්නට පුළුවන. ඒ විදිහට ගෙදර මිනිස්සු බීගත් විට දෙන දානෙ මොන ආනිසංසද? (අපේ නැන්දම්මාගේත් උන්දැගේ දෝණියැන්දාගේත් දණ්ඩ නීති සංග්‍රහයේ හැටියට ලාවට දෙකක් දා ගැනීම ආනන්තරීය පාප කර්මය X දහයෙ අටවැනි බලය වන්නේය) 

මේ ආදී හැටහුටාමාරක් ගැටළු එක්ක සංඝගත දක්ෂිණාවක් කියන බරසාර නමින් හැඳින්වෙන උත්සවයක් පවත්වන්ට අපි කීපදෙනාට බැරි බව අපේ නැන්දම්මාට පෙන්නා දෙන්නට මට පුළුවන් විය. ඒ හන්දා අපට වෙනත් විකල්පයක් උවමනා විය. මේ වතාවේ අපට උපකාරෙට හිටියේ ගමේ පන්සලය. චූටි මැණිකේ විතරක් නොව අපේ නැන්දම්මාද දාංපාසල් ගොස් ඇත්තේ ඒ පන්සලටමය. එදා අපේ නැන්දම්මා ඇතුළු 'නංගිලාට' ලොකු හාමුදුරුවන්ට හොරෙන් පන්සලේ ගස්වලින් අඹ කඩාදුන් ඉහළ පන්තියේ අයියා කෙනෙක් අද මහන දම් පුරමින් ඒ පන්සලේම විහාරාධිපති කම හොබවන්නේ දෛවයේ කෝචොක් එකකට වාගේය. මෙදා පොටේ අපේ පිහිටට හිටි උන්වහන්සේ

"ඉතිං බෝම ලේසියෙං මේ දාම්පාසලේ ලමයින්ට දානයක් දෙතෑකි නෙවැ"

කියා අපට මග පෙන්වූ සේක. උන්වහන්සේ වැඩිදුරටත් වදාරා ඇති ආකාරයට පොඩි ළමයින්ට දෙන දේ උනත් පිරියක් ඇති දෙයක් දෙන්න ඕනාය. ගමේ අනික් අය කරන්නාක් මෙන් බාර හාර වලිං ගැලවෙන්නට, අපල වලට බයිපාස් කරන්නට හතරට පැලූ බෝංචි දිය කිරෙං තම්බා හැදූ හොදිත්, අතංගු දමා හාල්මැස්සං ඇල්ලිය යුතු විසිතුරු මාලු ටැංකි වැනි හාල්මැස්සන් හොදිත්, බෙරි බතුත්, පපඩං කුඩුත් ළමයින්ගේ පිඟං වලට බෙදා එය දානයක් යැයි නම් කිරීම නියම දානයක් නොවේය. අඩුම ගානේ 'කටලිස්' බෝලයක් තරමවත් ලැබුනොත් ළමයි සංතෝස වනු ඇත. 

දහම් පාසලේ ඉන්නා ළමයි විසිපහක් වැනි 'සුට්ටං ගානකට' දානයක් ඉවීම 'මහ කජ්ජක්' නොවන බවත් ඒ වැඩේ 'එළ'ටම කර දෙන්නට හැකි බවත් කියා අපේ මාමණ්ඩී දානෙට දින වෙන්කරගෙන ඇත.

ඒ අනුව 'මහ කජ්ජක්' නොවන මේ දානෙට අපේ ගෙදරින් අපි දෙන්නාත්, මහ ගෙදරින් නැන්දම්මා, මාමණ්ඩිය සහ මලෙයාත්, පවුලේ හැම දේකටම ගෙන්නාගන්නා දිගං මාමා සහ නැන්දා යන අක්කයි මල්ලියි දෙදෙනාත් එක්කාසු වුනෝය. දානයක් දුන්නහම පිරිකරකුත් දෙන්ට ඕනා නිසා ළමයින්ගේ ජීවිතයට ගහට චේන්සෝ එක මෙන් ද, ගුරුවරයාට ඇගයීම් වාර්තා මෙන් ද, හාමුදුරුවන්ට වටාපොත මෙන් ද බැඳී පවතින පොත් සහ පෑන්ම දෙන්නට සකස් කර ගත්තෙමු.



දිගං නැන්දා සහ දිගං මාමා (අක්කයි මල්ලියි)


දානෙට උවමනා බඩු මුට්ටු ප්‍රමාණ ගනං හදන්නට සිද්දවුනේ මටය. වැඩි වෙලා අහක දාන්න වුනොත්   

"ඒකනෙ අපි කිව්වෙ ඔය හැටි ඕන්නෑ කියල. අපරාදෙ ඉව්වෑං බාගෙයක්ම අහක"

යනුවෙන්ද, මදි වුනොත්

"තව ටිකක් වැඩියෙං හදන්නෙපෑ. කොහෙද ඉතිං අපි කිව්වට ඇහුවෑ"

කියාද, දොස් අහන්න අකමැති හංදා හැමෝම 

"ඒවා හැමෝටම වැඩිය දැනුං තේරුං ඇති කෙනාම ගනං හැදුවොත් තමා හොඳ"

කියා මාව මුරුංගා අත්තේ තබා ඒ වගකීම මගේ කරේ තියා බේරුනෝය.


මේ ගනං හැදිල්ලෙ දී අපි දෙන්නගෙන් කාගෙ නමුත් පිඟානට වේලකට බෙදන නමුනුකුල වර්ගයේ කෑම වේලක් දහම් පාසලේ ඕනෑම දරුවෙකුට පරිභෝජනය කළ හැකි බවට උපකල්පනය කර ගනං හැදීම සිද්ද විය. උදාහරණයක් කියතොත් බෝංචි දෙසිය පනහක් හොදි හැදුවොත් එයින් අපි දෙන්නාට වේල් දෙකක් කෑ හැකිය. ඒ අනුව බෝංචි දෙසිය පනහක් හතර දෙනෙකුට වේලකට සෑහේ. අනික් එලෝලු මාලු ආදියද ඒ විදිහටම ගණනය කරන්නට විය. මේ සූත්‍රය හරි නොගියේ හාල් වලටය. අපේ ගෙදර දෙවේලකට හාල් බෙලෙක්ක දෙකකුත් ටිකක් උයන්ට ඕනාය. ඒ හාල් ප්‍රමාණය කොච්චරක්දැයි අපේ නැන්දම්මාගේ එකම දෝනියන්දාගෙන් ඇහූවිට උත්තරේ ලැබුනේ හුණ්ඩු X සංඛ්‍යාවක් කියාය. ඒ කොච්චරක් දැයි ඇසූවිට කිව්වේ හුණ්ඩු X සංඛ්‍යාවක් සේරු Y සංඛ්‍යාවක් කියාය. හාල් හුණුඩුවෙං, සේරුවෙං මැනලා දෙන්ට ඇත්තේ මැතිණිගෙ කාලෙ සංපකාරෙන් බවත්, දැං කඩේ හාල් දෙන්නේ කිලෝ ගාන්ට බැවින් ඔය හුණ්ඩු සේරු මෙට්‍රික් ක්‍රමේට හරවා කියන ලෙසත් කාරුණිකව ඉල්ලූ විට

"හාල් කිලෝ ගාන්ට මැනල උයන්න තරාදි තියෙනවැයි කුස්සියෙ. ඕන විදිහකට ගනං හදාගන්න එකයි ඇත්තෙ"

කියා උත්තරය ලැබුණි. ඒ අනුව ලඝු ගණක වගුවක් ද, හාල් මනින බෙලෙක්කයක් සහ හාල් දාන පනිට්ටුව ද යොදාගෙන සිදුකළ අසීරු ගණනය කිරීම් වලින් අනතුරුව සොයාගත්තේ මේ වැඩේ හරියන්නැති බවත් හාල් මිටියක් ගෙනගොස් ඔය කියන්නාවූ හුණ්ඩුවෙන් එවෙලෙට මැන අවශ්‍ය ප්‍රමාණය ගැනීම ගෙදරින් ලැබෙන බත්පත රැකගැනීමට ඇති හොඳම විසඳුම බවත්ය.

දානෙට කලින් දවසේ සුන්දර සෙනසුරාදා උදේ ඉර මුදුන්වෙන වෙලාවට අපි දෙන්නාත් 'ගමේ යන්න' පිටත් වුනෙමු. අපේ වෙලාවට හපුතලේ එලෝලු තොග කඩේක වැල් පිටින් උදුරාගෙන ආපු බෝංචිත්, ඉහිං කනින් මඩ නාගත්තු කැරට් අලත් ඒ වගේම මඩ නාගත් උණ ගස් විතර මහත ලීස් ගසුත් තිබුණේය. ඔය කියන අංග ලක්ෂණ ඇති එලෝලු සැලකෙන්නේ "අලුත්ම එලෝලු" හැටියටය. ඒවා අපේ ගම් පලාතට අයිසිං කේක් පෙට්ටියකට වඩා වටින්නේය. (එක් වරක් අපි ගමේ යන විට කැරට් කොළ එක්ක ගස් පිටිං ගලවාගෙන ගිහින් දුන් විට ඒ කැරට් ගස් ටික කුණු වී යන තෙක්ම ගෙදරට කවුරු ආවත් 

"මල්ලි/අයියා/අක්කා/නංගි/නැන්දා/මාමා/උඹ/ඔය ළමයා/තමුසෙ කැරට් ගස් දැකල තියෙනවද?"

කියා අසා

"ඤැක්"

යන උත්තරය ලද සැනින් එයිං එකක් සාලෙට ගෙන ගොස් පෙන්වා 

"මේක සංබෝලෙ බෝම රසයි. මේ ළමයි එද්දි ගෙනත් තිවුනෙ."

කියා උජෝ වඩන ලදී.)

ඒ කඩෙන් එලෝලු ඇති තරමක් අරගෙන අන්තිමට ඉතුරු සල්ලි අරං ගනං කරල බලලා 

"සරි, නන්රි, පොයිටි වාරන්" 

කියා දන්න දෙමළ වචන දෙක තුන වනා කඩේ මුදලාලි ඩබල ටකරමේ වදින්න උඩ අරින්නට ද පුළුවන් විය. දෙමළ කඩවල්වලින් බඩු අරගෙන අන්තිමට ඔවැනි වචන තුන හතරක් දෙමළෙන් කියූ විට කඩේ මුදලාලි හිතන්නේ එතෙක් වෙලා කඩේ මුදලාලිත් ගෝලයිනුත් දෙමළෙන් කතා කළ සේරම මේ මනුස්සයාට තේරුං යන්නට ඇතැයි කියාය.

එතැනින් පැල්මඩුල්ලට සේන්දු වුනායින් පසු තියෙන්නේ මහපාරේ මාරක ධාවන තරඟයයි. සැරින් සැරේ වැලි ටිපර්, කොටං ලොරි, ළඟ කොටන බස් ලඩි, ඕටී මවන ඇම්බියුලන්ස්, කුදු ගැහුණු 21 නොම්බරේ ත්‍රීවිල්, ලෑන්මහත්තුරු, බුල්ඩෝසර්, එක තැන නැවතුනත් පෙරලෙන්නෙ නැති ට්‍රැෆික් පොලිස් බයිසිකලේ, බවුසර, හාල් ලොරි, හයිබ්‍රිඩ්, පණ අදින ඩිමෝ බට්ටො ආදී වාහනයක් පෙරටුකොටගත් වාහන පෙරහරවල්වලට අහුවී ඒවායින් මේ කල්පෙදි එතෙර වෙන්න කඩ ඉරක් හොයාගන්න කොට අනික් පැත්තෙනුත් ඒ වගේම පෝලිමක් ඇවිත් ඉවසීමේ සැනසීම ලබා දෙන්නේය. ඉඩක් හම්බුවෙන්නේ ඉරි දෙක තියෙන තැංවලදි වුනත් එයිට අඩි දහයක් එහායින් සුදු ඉරි ධාරී ගොම පාට සූට් ඇඳි අය පොත දිගෑරගෙන, යටින් කාබන් කොලේ තියාගෙන පෑනත් අතට අරන් රැකගෙන ඉන්නා බැවින් ඉස්සර කරන්ට හොඳ නැත.


 තිරිවානාකැටිය හන්දියේ පටං ඒ කරදරේ නැතත් එතැන් පටං පහුකරන හැම ගමකම මිනිස්සුන්ට යටත් වෙලා වාහන එලොවන්ට ඕනාය. පාරේ මං තීරු බාගෙක වී වේලනකොට, හන්දිවල පාර මැදට වී ගම්වැසියන් සාකච්ඡා තියනවිට, පාපිසි, ලණු පැදුරු ආදිය වේලාගන්නට පාරේ එලා ඇති විට, ගෙවල්වල තාප්ප බඳින්න පාරෙ තියාගෙන බදාම අනනා විට, ගෙවල්වල හදන බල්ලන් නගුටත් උඩට තියාගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාහන මෙන් පාරේ ගමන් යනවිට, සිස්සත්වෙ ලියන වයසෙ ළමයි සීට් එක උඩ කොට්ට ඩබොලක් තියා ඉඳගෙන පල්සර්, ටීවිල්, ඩිමෝ බට්ටො එලෝන විට, අතුරු පාරවල්, නියරවල්, දෙපාවල්, වැට කඩොලු අස්ස‍ෙ බයිසිකල්, ටීවිල් ආදිය එක විටම මහපාරට පනින විට අපි අයිං වෙලා මැදිං යා යුතුය. කනගාවින් දමා ඉස්සර කරද්දී බ්‍රේක් පාගාගෙන අයිං කරගත යුතුය. නැත්තං ගමේ සීමාව පනින්නට පෙර වැට පොලු පාරවල් දෙන්නට තරං ඒ ගම්වල ග්‍රාම සංවර්ධන සමිති ප්‍රබල වෙති.

ඒ කිසිම ගමකිං අතුරු ආන්තරාවට ලක් නොවී මානානෙ ටවුමට යනවිට දිගං මාමාත් නැන්දාත් අපි එනකං පැය හතරක් තිස්සේ බලා හිටියෝය. පත්තර කඩේට වී පත්තර කියවන්නට හැකි වීම නිසා දිගං මාමාට නං ඒ වෙලාව මහ වෙලාවක් නොවුනත් දිගං මාමා පත්තරේ අකුරු ගණින දිහා බලං ඉන්නට වීම නිසා දිගං නැන්දා හිටියේ මූන දනිස්සේ වදින්නට එල්ලාගෙනය.

ටවුමේ සතොසෙන් ඇට හීං හාලක් තෝරන්නට ගිය විට දිගං මාමා මැදිහත් වී කියා හිටියේ එයිට වඩා හීං තුත්තිරි ඇට වගේ බොහොම ලස්සන හාලක් එහා කඩේක තියෙනා බවත් මේ හාලට වඩා ඒක හොඳ බවත්ය. ඒ හංදා අපි සතොසෙන් වෙනිං සලාක මල්ලක් පමණක් ගෙන හාල් ගැනීමට 'ඒ' කඩේට ගියෙමු. දිගං මාමාත් නැන්දාත් 'ඒ' කඩේට ඇතුල් වෙන අතරේ 'ඒ' කඩේ දොරකඩ හිටි 'දිගංචියා' දැකීමෙන් මට මගේ අතීතය මතක් විය. දිගංචියා ඒ කාලේ අපිට අවුරුද්දක් ඉහලිං 13 වසරේ සෑන්ස් පන්තියේ හිටි අනාගත 'ලදුපත් ගේට්ටුවා (Bill Gates)' විය. කොම්පිවුටරේ ඇණ මුරිච්චියක්, වෑර් පොටක්, බලුප් එකක්, තැටියක් කොටුවක් ගානේ දැන සිටි 'දිගංචියා'ට ඉස්කෝලේ ගුරුවරු පවා බය වූයේ ඌට කොම්පිවුටරේ බලයෙන් ඒ හැමෝගේම ජීවිත එක මොහොතෙන් සුන්නද්දූලි කරන්ට පුළුවන් වනු ඇතැයි හිතාගෙනය. අපි පරිගණක විද්‍යාගාරෙට අධිගෘහිත සුමේදා අක්කාගේ අණ දීම් ("ඩෙස්ටොප්පෙකේ සේව් කරන්නෙපා, පුටු කරකවන්නෙපා, ගේම් ගහන්නෙපා, කී බෝඩ් එකට හයියෙං අනින්නෙපා, ප්‍රෝගෑම් පයිල් මකන්නෙපා") යටතේ ක්ෂූද්‍රමෘදු තීන්ත, ක්ෂූද්‍රමෘදු වදන, ක්ෂූද්‍රමෘදු බල තුඩුව, වාගේ දේවල් අරින, වහන විදිහ ඉගෙන ගනිද්දී  දිගංචියා ඒ දිහා බැලුවේ කට කොනිං 'පුහුක්' කියා ලීක් වෙන නක්කල් හිනාවකින් යුක්තවය. අපිට කොම්පිවුටර් ලැබ්බෙක නම් දේවාලයට ඇතුල්වෙන්නට නියමිත පීරියඩ් එකක් සහ සපත්තු ගැලවීම වැනි පිළිවෙත් රැසක්ද තිබූ අතර දිගංචියා එහි කපුවා වූ බැවින් ඒ කිසිවක් ඌට අදාල වූයේ නැත. ඕනෑම වෙලාවක ඉස්කෝලේ ගේට්ටුවෙන් ප්‍රසිද්දියේ පිටවන්නට බලය තිබූ දිගංචියාගේ පරිගණක දැනුම පිළිබඳව පැහැදිලි කරන විට දිගංචියා අපිට කිව්වේ

"උඹල මොනාද මල්ලි දන්නෙ. මං කියන වචන ටිකවත් උඹලට තේරුං යනවද කියහල්ලකො"

කියාය. දිගංචියාගේ කතා වලින් අපි තේරුං ගත්තේ අපි ඉස්කෝලෙන දොට්ට විසික්වන කාලය වන විට එදිනෙදා ජන ජීවිතයේ සියලු අත්‍යාවශ්‍ය වැඩ, එනම් දෑළ කඩේ රෝල්ස් හැදීම, සුරාජ්ගෙ ටේලර් සොප් එකේ කලිසං කමිස මැහීම, රත්නපුරේ ජෝති එක ළඟ කාදර්ගෙ කඩේ පරාටි දෙකක් කපා පිඟානට දමා හොදි හැඳි දෙකක් වැක්කෙරීම, බස් එකේ සීසන් එක කැපීම, ඉස්ටෑන්ඩ් එකේ තාප්පෙ අයිනෙ රටකජු බැදීම, ආදිය පවා 'කම්පියුට' වලින් සිද්දවෙනු ඇති බැවින් අපි කොයි තරං ඉගෙනගත්තත් අපිට 'කම්පියුට' බැරි හංදා අපේ අනාගතේ 'උජාලා' වැඩි වූ පාසල් නිල ඇඳුමක් මෙන් නරි නාටකයක් වනු ඇති බවය. 

 ඉස්කෝලෙ යන කාලෙදිම හවස්වරුවේ ටවුමේ එකම කොමිනිකේසන් එකේ පොටෝ කැපීම සහ ඉන්ටනෙට්ටෙකෙං විභාග ප්‍රතිපල බැලීමත් කළ දිගංචියා ඒ කාලයේ දී තමුන් තරම්ම දිග උණ ගහක් වැනි කෙල්ලක් යාලු කරගත්තේය. ඒ කෙල්ලගේ කකුල් දෙකේම දනිස්සෙනුත් අඟලක් විතර උසට (අපි දැක්කෙ එතැන්ට විතරයි) දුං ගසා ඉදවූ කෝලිකුට්ටු ගෙඩියක වගේ කලු ලප පිහිටීම නිසා ("යස ඕකට හොඳ වැඩේ කියා") අපි හිත යටින් සතුටු උනෙමු. 

දැං මේ දිගංචියා කඩේ ඉස්සරහ හිටං ඉන්නා හැටියට පේන්ට තියෙන්නේ මිනිහා කොම්පියුටර් දැනුමෙන් සෑහෙන්ට හම්බුකරගෙන අවසානයේ දී මේ තට්ටු දෙකේ මහා බඩු කඩේ දමාගෙන ඇති බවය. ඒ තරං මහා වියාපාරිකයෙක් අපේ ඉස්කෝලේ ගිය, මං අඳුරන කෙනෙක් බව පෙන්නීම අනික් අය ඉස්සරහ මටත් ලකුණු වැටෙන වැඩක් හංදා මම දිගංචියා හමුවී මාව මතක දැයි අහන්න යන්නට දොර ඇරගෙන බිමට බැස්සෙමි. ඒ වනවිටත් දිගංචියා කඩේ අස්සේ අතුරුදහන් වෙලාය. ඒ හංදා මට දිගංචියා හම්බවෙන්නට නොහැකි විය.

එතැනින් ගත් බඩුමුට්ටුත් පටවාගෙන ටවුමෙන් පිටවීමෙන් පසුව මම දිගං මාමාගෙන් 'දිගංචියා' පිළිබඳ විමසුවෙමි.

"මාමෙ ඔය කඩේ අයිතිකාරය එළාර ඉස්කොලෙ සෑන්ස් කරද්දි අපිට ඉහළ පංතියෙ හිටියෙ"

"හෑහ්.. හහ් හහ් හහ් හා..."

"හිචි හිචි හිචි හිචි"

"ඇයි මොකෝ"

"ගාමිණි මුදාලිට දැං පනහත් පැනල. ඕගොල්ලෑ පංතියට කලිං පන්තියෙ ඉන්නෙ කොහොමද ඒ මිනිහ"

"ඇයි ඒ කඩේ අර දිගංචියෑ නෙමෙයි ද?"

"හෑහ්.... හහ් හහ් හහ් හා...."

"හිචි හිචි හිචි හිචි කැහ් කොහ් කොහ්"

"ආයිත් පිපිඤ්ඤ පලන්න තියාගත්තෙ කියාල්ලකො රෙද්ද"

"හිහ් හිහ් ... දිගංචිය ඒකෙ අයිතිකාරය නෙමෙයි"

"එහෙනං"

"මිනිහ ඒකෙ බඩු කිරනව"

තුනෙං හතරට දාන්න ගිය ජියර් එක දෙකට වැටුනි. ඒටීඑම් මැසිමෙං සල්ලි ගනිද්දි පෑං ඉරි ඇඳපු දාහෙ කොලයක් අතට ආවා වගේ මගෙ කට ඇරුනි.........

Sunday, March 11, 2018

මගේ ලිවිල්ල, වාසගම ආ හැටි හා ඊජිප්තුවේ මැටි පුවරු

කාලෙකින් මොකවත් ලියන්නට බැරිවීමත්, ලියන එව්වා මටම එපාවීමත් හංදා කාලයක් තිස්සේ හරි හමං ලිපියක් පළ කරන්න බැරිවුනා. අද ලියන එකවත් අවසන් කරන්න පුළුවං වෙයිද බලමුකො.


ලිවිල්ල මගේ වාසගමෙන්ම මට උරුම වෙච්චි එකක්. අපේ තාත්තගේ තාත්තා හෙවත් අපේ ආතා මොකද්දෝ ආරෝවකට ගමේ එකෙක් කොස් ගහක බැඳ තලා මෙලොවෙන් තොලොන්ජි කර ගම්පහෙන් පැනලා අපේ ගමට එත්දි උන්දැගෙ අයිඩිං කාඩ්ඩෙකේ පටලැවිලා ඒ වාසගමත් ආවා. 'ලියනගේ' කියා වාසගමක් තිබුණත් උන්දෑ මැල්ලුමක් වත් ලියන්නට දැනගෙන හිටියේ නෑ. මට හිතෙන හැටියට මේ වාසගම 'නලියනගේ' කියා ලියා තිවිලා පසුව 'න' යන්න හැලීයාමෙන් ඉතිරි වූ නටඹුනක් වෙන්ට ඇති. අාතාගේ පුතාලා, දූලා, මුණුබුරු, මිනිබිරි හැත්ත බුරුත්තටම නලියන ගතිය ඇති හන්දා ඒ තර්කය ඕනෑම විද්වතෙක්ට ඔප්පු කර පෙන්වන්න පුළුවං.

පසුකලක චූටි මැණිකේ මගේ ඇදයක් හොයා පදයක් හදන්නට අල්ලා ගත්තේ මගේ වාසගම.


"ඕගොල්ලංගෙ වාසගම ගත්තු ආදිකාලෙ මුත්තා මොකද්ද අනේ ඔය මඩවලේ ලිව්වෙ?"


මේ වගේ වෙලාවට ගේම දෙන්ට ඕනා හිතා බලා බැවින් මං මුසාවාදා යකාට දමා ටොංපචයක් ගෙතුවා.


"බොහොම ඉස්සර අපේ මුත්තෙක් රජ්ජුරුවන්නෙ වැඩකට ඊජීප්තුවෙ නගරෙකට ගිහිං තියෙනව"


"පයින්ද?"

"පයින්නැතුව ඉන්නකො. පයිං හරි කොලපතේ හරි. ඒක මෙතන්ට වැඩක් නෑනෙ...... ඕං ඉතිං අපෙ මුත්තා එහෙ යන කාලෙ ඒ මිනිස්සුන්ට හරි ප්‍රශ්නයක්ලු ලිවීම ගැන. ඒ මිනිස්සුන්ට බාසාවයි, අකුරුයි සේරමත් තිබිලා ලියන්න ක්‍රමයක් නැහ්ලු."


"ඒ මොකද ඒ."

"මොකක්වත් නෙමෙයි. ඒ මිනිස්සු දහ අතේ කල්පනා කරනවලු අපි මොකේදෑ මේ අකුරු ගනං හිලව් ලියන්නේ කියල. ලොකු මුදලාලිල එහෙම මිනිස්සු පනහ හැට කුලියට අරං තියාගෙන ඉන්නවලු ගනං හිලවු මතක තියාගන්න. එවුන්ට කන්ට බොන්ටත් දෙන්න එපෑ වෙනම. පුස්තකාලවල රාක්කවලත් ඉන්නෙ පොත් කටපාඩං කරපු මිනිස්සු ලු. ඒ හංද හුඟක් අය ගෙදර ගිහිං කියවන්න අරං යන්නැතුව පුස්තකාලෙදිම කියෝල යනවලු. ඇයි ඉතිං පොත් දෙකක් අරං ගියොත් සති දෙකක් යනකං කන්න බොන්න දෙන්න එපෑ පොත් දෙකටම. ඩික්සනරි එහෙම කට පාඩං කරං ඉන්නෙ එක ගමක්ම එක්කහු වෙලාලු. ලියුංකාරය ලියුං අරං එන්නෙ අස්පයො දෙන්න බැඳපු මහ කරත්තෙකලු. ඇයි ඉතිං ලියුම කියල එවන්නෙත් ඒක කටපාඩං කරපු මිනිහෙක්නෙ. අතිං දාලා වෙනස් කරල කියන හංදා ගෑනුංව ලේඛන විදිහට යවන්නෙ නැහ්ලු. ඔය පොඩි පොඩි වචන හතරෙ පහේ රිසිට්, තුණ්ඩු, ටෙලිකරං පණිවිඩ එහෙම වෙනුවට දෙන්නෙ ඒක කට පාඩං කරවපු ගිරා පොඩ්ඩෙක් හරි මයිනෙක් හරිලු.

"හිකි හිකි හිකි හිකි.... ඔන්න ඔතන පොලොව පැලීගෙනත් යනව"


"හා.. මං එහාට වෙන්නංකො. හරිද. ඔන්න ඉතිං ඔය නාටකේ දැකපු අපේ මුත්තා ඔයාගෙ ඔය කැකිරි පැලිල්ල වගේ නෙමෙයි සැටයොදුන් රක්ගල්තලා මස්තකයේ සිංහනාද කරන සිංහ රාජයෙක් වගේ හං හං හං හං හා..... කියල හිනාවෙලා ඒ මිනිස්සුන්ට මේං මෙහෙම කිව්වලු"


"මං ඔය ඇහුවමයි හං හං කියල මිනිස්සු හිනාවෙන බවක්"


"එහෙම තමා ඒ හිනාවෙ ගාම්බීරකම ලියන්න අකුරු නෑ. ඒකයි. නැත්තං ඕක එන්න ඕන විසාල ඝංටාරෙකිං එනව වගේ සද්දයක්... ඕං අපේ මුත්තා ඒ මිනිස්සුන්ට කියනවලු.. බොලල්ලා ඔය විදිහට කටපාඩං කරන්න ගියොත් බොලාට කාලෙකදි පිටරටිනුත් මිනිස්සු ගේන්ට වෙනව. ඔව්වා පාඩං කෙරුවාව වෙනුවට මොහොක හරි ලියා තියපල්ලා කියල. එතකොට ඒ මිනිස්සු කිව්වලු, තමුන්නැහැ කිව්වට අපි මොකේද ලියන්නෙ. හා කියමු බලන්න. කියල. ඒ ගමන අපේ මුත්තා එතන තිවිච්චි කුඹුරු ලියැද්දකිං මඩ ටිකක් අරං සාස්පාං පියනක තුනී කරල ඒ මඩ ටිකේ මතුපිට සිනිදු වෙන්ට කෙහෙල් කොලේකිං මට්ටං කරල හොඳ සමතලාවට හදාගත්තලු. ඉං පස්සෙ ඒ අහල පහල තිවිච්චි බෝඹු ගහකින් කෝට්ටක් කඩල අරං ඒ ළඟ හිටපු දෙතුං දෙනෙක්ගෙම නං ඒකෙං අර මඩ තට්ටුව උඩ ලිව්වලු. එයිං පස්සෙ එයිං එකෙට්ට දුන්නලු මේක ගෙහුං අව්වෙ තියල වේලන්න කියල. ඕං ටික වෙලාවක් රටතොට විස්තර කියෝ කියෝ කහට ඩිංගක් එහෙම බීල ඉවර වෙලා පැයක් දෙකක් ගිය තැනදි අපේ මුත්තා කලිං අව්වෙ තියෝපු මඩ තට්ටුව ගෙන්නුවලු. එතකොට ඒක හොඳට වේලිලා. අකුරු ටිකත් ගලේ කෙටුව වගේ බොහොම හයියට තියෙනවලු. ඒ ගමන මුත්තා ඒ මැටි පුවරුව සාස්පාං පියනෙං ගලෝල අරං ඒ මිනිස්සුන්ට දීලා කිව්වලු මේං මේ ආකාරයට ලියා තියාගන්න ඕන දේවල් මැටි පුවරුවල ලියා වේලලා තියාගනිල්ලා කියල. ඔය පහුගිය කාලවල ඊජිප්තුවෙං පුරාවස්තු හැටියට හම්බුවෙච්චි සේරම මැටි පුවරුවල ලියාපු ලේඛන අපේ මුත්තා කියා දුන්නු සාත්තරේට අනුව ඒ කාලෙ මිනිස්සු ලියපුව තමා."



"හිචි හිචි හිචි හිචි...."


"හිචි හිචි ගාන්න දෙයක් නෑ. ඒ බව දැනගත්ත ඒකාලෙ ඊජිප්තුවෙ රැජින වෙච්චි ක්ලියෝ පැට්රා මහ රැජින 'ඔය කොකිස් අච්චුව වගේ රටෙං ආපු උන්නැහැට රජ වාසලට එන්ට කියව' කියලා පණිවිඩයක් කටපාඩං කරවපු ගිරවෙක්ව කූඩුවක දාලා අපේ මුත්තා ගාවට යවලා මුත්තව රජ වාසලට ගෙන්නාගත්තලු. ඉංපස්සෙ ඒ රජවාසලේ සේවෙටත් බඳෝගෙන මඩ වල ලියූ බැවින් 'මඩවල ලියනගේ' කියල නම්බු නාමයකුත් දුන්නලු.


"හිචි හිචි හිචි හිචි. මොකද දන්නෑ ඉතිං උන්දැ ආපහු ලංකාවට ආවෙ. එහෙ හිටියනං එහෙම ඉන්න එපෑ."


"පස්සෙ කාලෙක මුත්ත එන්න පරක්කු හංදත්, යවපු එක මැටි පුවරුවකටවත් උත්තර ලියල ආපහු පුවරුවක් ආවෙ නැති හංදත් මේ මනුස්සයට මොකද උනේ කියල බලන්න මුත්තගෙ පවුල ගියාලු ඊජිප්තුවට."


"හැබෑට ඊට පස්සෙ"


"එයිට පස්සෙ වෙච්ච හරිය ඇලෙක්සැන්ඩ්‍රියාවෙ පුස්තකාලෙ මැටි පුවරුවක ලියල තිවුනලු. පහුකාලෙක පුස්තකාලෙ වහලෙ අබලං වෙලා වැහි වතුර වැටිලා ඒ මැටි පුවරුව දියවෙලා ගිහිං. ඒ හංදා මොකක් වුනාද දන්නෑ."


"මොනව වෙන්නද? කොහෙ හරි යන කාපීරි ගෑනියෙක්ටවත් දපනෙ වැහ්ලා එහෙම තප්පලං ගහගෙන ඉඳල අරුන්දැට අතට අහුවෙන්නැති. එවුන්දැත් ඉලපත් පාර දෙකක් දීල කනෙං ඇදගෙන එන්නැති ආපහු ලංකාවට. පේන්නැතෑ මේ මුණුබුරාගෙත් පේස්බුක් එකවුන්ටෙකේ අප්‍රිකාවෙ කාපීරි ගෑනුයි, ඉංදියාවෙ පඟර නැට්ටියොයි ගොඩ ගහං ඉන්න හැටි"


"ඒක නෙමෙයි කාරනාව. ඔය කලිං පොත් පාඩං කරගෙන අනුංගෙන් කකා බිබී හිටිය ලේඛන පවුල් වලට අපේ මුත්තා හිංද රස්සාව නැතිවුනානෙ. ඒ හංදා උං අපේ මුත්ත එක්ක තරහෙං ඉඳල තියෙන්නෙ. පස්සෙ උං අපේ මුත්තට ඔය ක්ලියෝ පැට්රා රැජිනිව ජෝඩු කොරල කටකතාවක් හදල තියෙනව. ඒ කටකතාව ඊජිප්තුවෙ වෙළඳාමෙ ගිය චීනෙක් මාර්ගෙං ලංකාවටත් ඇහිල්ලා. අපේ මුත්තා බොහොම රූප සම්පත්තිය තියෙන මිනිහ හංදා මුත්තගෙ පවුලත් ඒක විස්සාස කරන්නැති. අන්තිමට කොහොම හරි ඊජිප්තුවට රටක් වටින මිනිහෙක් නැතිවුනා. එයිං පස්සෙ තමා සීසර් ඊජිප්තුව අල්ලගත්තෙ. අපෙ මුත්ත හිටියනං ඊජිප්තුව....."


"ඔව් ඔව් හිටියනං සීසර්ට මඩ ගහල තමයි ආපහු අරින්නෙ...හුහ්.. මයෙ කට නිකං"

ඔය විදිහට වාසගමෙන් පටංගත්තු මගෙ ලිවිල්ල කඩදහියක ලියන එක දක්වා දියුණු කළේ අපේ මාමා. මට අවුරුදු තුන හතරක් විතර වෙද්දි අපේ මාමා වැඩකෙරුවෙ බොහොම දුෂ්කර ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ ළමයින්ට බෙදන්න ගෙනා අච්චු පොත් වලින් එක සිංහල අච්චු පොතක් අපේ මාමා මටත් ගෙනැල්ල දුන්නා. ඒ මදිවට කොහෙන්දෝ ගෙනා හෝඩි පොතකුත් අපේ ගෙදර තිබුණා. ඔය දෙකේම උදව්වෙං අපේ අම්මා තමුං දන්න විදිහට මට අකුරු කියෝන හැටියි ලියන හැටියි කියාදුන්නා. ඒ කාලෙ අපේ ගෙදර අපි තුන්දෙනා ඇරුණම අපේ තාත්තගෙ මල්ලිගෙ පවුලෙ කට්ටියත් පදිංචි වෙලා හිටියෙ. එතකොට අපි ඔක්කොම නම දෙනෙක්. බාප්පගෙ ළමයින්ට අකුරු කියෙව්වෙ අපේ තාත්තයි කුකුළු වැලකුයි. ඒ පවුලෙ ළමයින්ට පොඩි කාලෙ 'ර'යනු උෟනතාවයක් තිබුණා. ඒ හංදා මට අවුරුද්දක් විතර වැඩිමල් ජනක අයියට 'ර' යන්න වෙනුවට 'ස' යන්න වැළඳිලා තිබුණා. අපේ තාත්තා මේසෙ අයිනෙ පුටුවක ඉඳගෙන වං අතිං එක වසරෙ සිංහල පොත චිමිනි ලාම්පුවට කිට්ටු කරල අල්ලගෙන අනික් අතිං කුකුළු වැලත් අමෝරාගෙන ජනක අයියට අකුරු කියෝනව.

"හා ජනක ඕං මං කිව්වහම උඹ කියහං හොංද"

"හොලයි ලොකු චාච්චෙ"

"අයන්න"

"අයඤ්ඤ"

"මයන්න"

"මයඤ්ඤ"

"ර්රයන්න"

"සයඤ්ඤ"

"සයන්න නෙමෙයි බොල රයන්න. ර් ර් කියල සද්ද කරහං"

"ල් ල්"

"පොඩි මැණීකො. මේ කොල්ලෑ නාහෙ පිහදාහං. මුට හෙම්බිරිස්සාව හංද අකුරු කියවෙන්නෑ"

එතකොට කුඩම්මා තමුංගෙ සාය කොනකිං ජනක අයියගෙ නාහෙ හූරල ගන්නව.

"හා දැං කියහං ර යන්න"

"ස්රයන්න"

"ආ.. හරි එහෙනං එක පාර කියහං. අයන්න මයන්න රයන්න අ-ම-ර"

"අයංන මයංන සයන්න අ-ම-ල"

ඒ ගමන තාත්තගෙ අතේ තියෙන කුකුලු වැලෙං ජනක අයියට එකක් වදිනව.

"ව්යවු"

"අන්න හරි ලොකුඅයියෙ. ඕකුන්ට තලල මිසක්ක හදන්න බෑ. තවේකක් ගහන්න"

කුඩම්මයි බාප්පයි දෙන්නම අපේ තාත්තට තල්ලුවක් දෙනව. ඇඬුවොත් තව වදින හංදා ජනක අයියා ඇඟ අඹරෝලා ගුටිය ඇඟ පුරා බෙදා හරිනව. මේ වෙලාවට මං මගෙ ලොකුකම පෙන්නන්න හෝඩි පොත අතට ඇරං එක හුස්මට මහ හයියෙං කියෝගෙන යනව. එතකොට බාප්පයි කුඩම්මයි දෙන්නම තව හයියෙං බැනුම පටං ගන්නව.

"පෙනේද, පුතා තාම මොන්ටසෝරි යන්නෙවත් නැතුව පොත එක හුස්මට කියෝනව. මුට බෑ තාම. තවේකක් ගහන්න තියෙන්නෙ."

මේ වෙලාවට අපේ අම්ම මාව කුස්සියට ගෙන්නෝනව.

"උඹ කටවහගෙන හිටහං ජනකෙයට තව ගුටි ගස්සන්නැතුව"

ඒ විදිහට අකුරු කියවිල්ල පටං ගත්තු මට මොන්ටිසෝරි යන්න කලිං ජෑන්ති අක්කගෙ ඉස්කෝල පොත් ටිකත් කියවන්න පුළුවං උනා. එදා අපේ තාත්තගෙ අකුරු කියවිල්ල හරි නොගිය ජනක අයියට අද සිංහල, දෙමළ, ඉංග්‍රීසි බාසා තුනමත් මැලේසියාවෙ බාසාවත් පවුලගෙ බාසාව වන ඉන්දුනීසියන් බාසාවත් එක්ක ඔක්කොම බාසා පහක් විතර පුළුවං ලු.

ඊළඟට ඉස්කෝලෙ යන කාලෙ එකේ දෙකේ පන්තිවලදි කරුණාවතී මිස්ගෙන් එහෙම මගෙ අකුරුවලට බොහොම වටිනාකමක් ලැබුණා.

"ළමයො, මෙයිට වඩා හොඳයි ලොකුවිතානෙ වෙදමහත්තයෑ අකුරු. බේස්සීට්ටු ලිව්ව වගේනෙ"

"තයන්නයි, නයන්නයි, කයන්නයි එක්කොම එක වගේනෙ"

"අනිද් දවසෙ මෙහෙම ලිව්වොත් විසික්කරනව පොත පිටිම්ම දොට්ට"

"සොරොස් ..... තක් (පොත පන්තියෙං එලියට විසිවී බිම වැටෙන හඬ)"

යන්තං තුන වසරට එද්දි කයන්නට යටි පැත්තට තට්ටං දෙකක් තියෙන්න ලියන්න ඕන බවත්, තයන්නේ බඩ පිරෙන්නට ඕන බවත්, නයන්නේ පස්ස උඩ ගිහිං දිමියා වගේ වෙන්න ඕන බවත්, යයන්නේ දකුණු පැත්තට විතරක් කණක් තියෙන්න ඕන බවත්, පයන්න බත් මුට්ටිය වගේ අඳින්න ඕන බවත්, සයන්නට යයන්නෙ වගේම තට්ටං දෙකක් එක්කම දෙපැත්තටම කං තියෙන බවත්, වයන්නේ ඔලුව ඇවිත් කට අස්සෙ රිංගන්න ඕන නැති බවත් ආදී අකුරු සම්බන්ධ බව වල් ටික දැනගන්නට මට පුළුවං උනා. පොඩි කාලෙ බාප්පගෙ ළමයින්ට ලොකු කං පෙන්නපු පව මට පළදුන්නෙ එහෙමයි.

මගෙ ලිවිල්ලකට මුලින්ම නම්බුවක් දුන්නෙ හතර පහ වසරවලදි අපේ පන්තිය බාරව හිටපු නිලන්ති මිස්. බුකිය පැත්තෙ යන්න හැටියක් නැති හංදා එතුමිගෙ පොටෝ එකක් මෙතෙන්ට ගේන්න හැටියක් නෑ. ඒ කාලෙදි ශිෂ්‍යත්ව විභාගෙට අනුමාන ප්‍රශ්න පත්තර බරගානක් හදවලා කොහොම හරි අපිව ගොඩදාන්න උත්සහ කරපු එතුමිය ඒ හැම ප්‍රශ්න පත්තරේකම අගට රචනාවකුත් ලියෙව්වා. එක දවසක් මාතෘකාව තිබුණේ 'මගේ රට රැකගන්නට යුධ බිමට යන්නට ලැබුනොත්' වගේ මොකක් හරි එකක්. ඒකට ලියපු රචනාවට මට ලකුණු විස්සෙං විස්සම ලැබුණා. මයෙ රචනාව එදා එතුමිය මුළු පන්තියටම ඇහෙන්න කියවල වර්ණනාවක් කළා. අනික් පහේ පන්තියෙ චන්ද්‍රා මිස් මයෙ පොත ගෙනිහිං එයාගෙ පන්තියෙත් කියෙව්වා. සිකුරාදා සාහිත්‍ය සමිතියෙදිත් ඒක කියවන්න මට සිද්දවුනා. නිලන්ති මිස්ට පිං සිද්දවෙන්ට ටියුෂන් පංති නොගිය මායි, දිමුතුයි දෙන්නම සිස්සත්වෙ පාස් වුනා. අවුරුදු දහයකට වැඩි කාලයක් නිකගොඩ හංදියෙ ජයන්ති මහ විද්‍යාලෙ පහ වසරෙ ළමයින්ට අපේ සිස්සත්වෙ පාස් වීමේ වාර්තාව පහුකරන්න බැරි වුනා.

ඊළඟට මං කලවානේ ජාතික පාසලට මාරු වුනා. අපේ තාත්තට ආයිමත් මාව දෑහැට පේන්න බැරි කාලයක් උදාවුනා. ඒ ගමන මයෙ පිහිටට හිටියෙ මගේ කල්‍යාන මිත්‍ර තුසිත ධර්මප්‍රිය. කොල්ලො තුං දෙනෙක් හිටිය ඒ ගෙදර හතර වැනි ළමයා වෙන්න මට පුළුවං උනා. කියවන්න පොත් ඕන තරං තියෙන, තුං වේලට කෑම බීම ඕන හැටියෙ තියෙන, කියවන්න ඕන තරං පොත් තියෙන ඒ ගෙදර මට කවි කතන්දර ලියන්න ඕන තරං නිදහස තිබුණා. ගෙදර දෙවෙනි ළමයා වන 'දේශප්‍රිය'ත් මමත් හාප්සීට් කොළවල ලියලා, බ්‍රිස්ටල් බෝඩ් වලින් පිටකවරෙ දාපු කතන්දර පොත්, කවි පොත් ගණනාවක් හැදුවා. ඒවා නාස්තියක් හැටියට නොසලකපු තුසිතගෙ තාත්තා වැඩ ඇරිලා ගෙදර එත්දි අපිට ඕන ලිපි ද්‍රව්‍ය ගෙනත් දුන්නා. ඒ පොතක් අච්චු ගහන්න ඕන කිව්වම රෝනියෝ ස්ටෙන්සිල් කොළ පවා කොහෙන්දෝ හොයල ගෙනැල්ලා දුන්නා. ඒ විතරක් නෙවෙයි, අපේ පොත් අකුරක් නෑර කියවලා එව්වාට විචාරයකුත් දුන්නා. උපාධිධාරී ගුරුවරියක් වෙච්චි තුසිතගෙ අම්මත් අපේ පොත්වල අකුරක් නෑර කියෙව්වා. වාසනාවට පහුගිය මාසෙ තිබුණු දේශප්‍රියගෙ විවාහ උත්සවේ වෙලාවෙදි තුසිතගෙ අම්මගෙත් තාත්තගෙත් පොටෝ දෙකක් ගන්න මට පුළුවන් උනා. ඔය පහළ පොටෝ දෙකේ මං එක්ක ඉන්නෙ ඒ දෙන්නා.

මැණිකේ මොලමුරේ මැතිණිය
හින්නිමහත්මයා නරසිංහ මහතා


අවුරුදු ගානක් මාව තමුන්ගේ ළමයෙක් වගේ රැක බලාගෙන, තැපැල් නයින්ටියේ තියාගෙන අපි හතර දෙනාවම ඉස්කෝලෙ ගෙනිහිං, ඇල්පෙනෙත්තක දෙයක් අඩුපාඩු නොකර මට ඉගෙනගන්න පාර කපා දුන්නා වගේම ආගම දහමට යොමු කරලා දහම් පාසල් යවලා යහපත් මිනිහෙක් කරලා යහපත් සමාජ ඇසුරක් ලබාදීලා මාව හදාවඩාගත් පිනෙන් එතුමාටත් එතුමියටත් තව චිරාත් කාලයක් කිසි ලෙඩක් දුකක් නැතුව බොහොම සතුටින් ජීවත් වෙන්ට වරම් ලැබේවා!


ඒ කාලෙන් පස්සෙ ආයෙමත් මට ලියන්නට කාලයක් ආවෙ බ්ලොග් කියවීමෙන්. රන්දිකා රණවීර අක්කාට අයිති නමුත් රවී වීරසිංහ උන්නැහැ විසිං අඳේට ලියාගෙන යන නිදහස් සිතුවිලි බ්ලොග් එකේ මං දාපු කොමෙන්ට් එකක මොකක් නමුත් හොඳක් දැකපු ඉන්දික කොඩිතුවක්කු අයියා මට 'ලියාපං' කියලා ඊමේල් එකක් එවා තිබුණා. ඒ වගේම තව කීප දෙනෙක්ගෙ තල්ලුව එක්ක පටං ගත්තු බ්ලොග් ලිවිල්ලට වටිනාකමක් එකතු කරල දුන්නේ අටං අයියාගෙ අටං පහුර සහ මාතලන්ගෙ සින්ඩිය. යන්තම් දෙතුන් සීයක් දෙනා කියවපු ලිපි දාහක් දෙනා කියවන තැනට ප්‍රසිද්ධ කරල දුන්නෙ ඒ දෙන්නා. අද වෙත්දි තවත් සින්ඩිකේටර් ගණනාවක මේ ලියවිල්ල පේන්න තියෙනවා. බුකියට යන්ට විදිහක් නැති හංදා මාතලං සහ අටං වරුන්ගේ පොටෝ මෙතැනට අමුණාගන්නට හැටියක් නැතුවා වගම ඒ දෙන්නා පෙනී සිටිනා මගේ ලඟ ඇති පින්තූරද දෙනෝ දහක් බලන තැනකට දාන්ට සුදුසු තත්වයේ නැත.


බොහොම කාලයක් ලියවෙන්නැතුව තිබිලා අද ආයිමත් පටන් ගත්තු මේ ලියවිල්ලට නිකං ඉන්න වෙලාවට තනිකං දෝසෙ හදනා බුකි කුමාරයාගෙං වන දෝස ඇත්නං, යූටියුබ් යස්සයාගෙං වන බන්ධන ඇත්නං, හුලංකියා (airtel) සමාගං පෙරේතයාගෙං වන දත්ත මන්දගාමී හූනියං ඇත්නං, මේ ආතුරයාගේ පින්තූර දැක "හානේ හරිම ලස්සන බෝයි කෙනෙක්" කියා කාන්තාවන්ගෙන් වන ඇස්වහ කටවහ හෝවහ දෝසාන්දකාර ඇත්නං, ඒ සියල්ලම දූරිංභූත වී හැම ඉරිදාටම එක ලිපිය ගානේ ලියන්නට හැකියාව ලැබේවා!, ලියනා ලිපි "මොන හජ්ජරාවක්දැ" යි කියා සිතා මකා දාන්නට නොසිතේවා!, ස්වස්ථි සිද්ධම්.

Sunday, January 21, 2018

මග නොදැන ගිය ගමන

අපි දෙන්නාට මෙතෙක් කලකට ගමං යාමේ උණක් තිබුනේ නෑ. තියෙන දෙයක් උයා පිහාගෙන කාගෙන දවසෙන් වැඩි කොටහක් බුකිගත වීමෙන් රටේ ලෝකෙ දෙයක් හොයාගෙන ගෙට වැදී ඉඳීමෙන් සසර ගෙවා ගැනීම තමයි අපේ එකම අරමුණ උනේ. උපන් දා සිට ඊළඟ පැය අපේ ඉරණම කොහොම විසඳෙයිද කියා නොදන්නා අරුම පුදුම කල්ලතෝනි ජීවිත දෙකක් දෙපැත්තක ගෙවපු අපි දෙන්නාගේම පොදු මතයේ හැටියට මනුස්සයෙක්ට හම්බකරගෙන කන්න රස්සාවකුත්, ඉන්න හිටින්නට තැනකුත්, අඳින්නට ඇඳුං දෙක තුනකුත් ඇතිනං ඒ තමයි ජීවිතේ සැප. ඉතිං අපි දෙන්නා එයිට අමතර වසයෙන් හැමදාම හවසට කාටුන් එහෙමත් බලන හංදා අපේ ජීවිතේ සුඛෝපභෝගී එකක් නෙවැ. (කවදා හරි දවසක ආණ්ඩුවෙ ගෙවල් නැති තැනකට ස්ථාන මාරුවක් ලැබුනොත් එදාට මේ සැප හබක් බව හැබෑව)


මෙහෙම ඉන්නා අතරේ මොකද්දෝ කතාවක් ඇදීගෙන ගිහිං ඒ කෙළවර මට දැනගන්නට ලැබුණා චූටි මැණිකේ උපන්තේකට අනුරාජපුරේ ගිහිං නැති බව. කොටිම්ම අවුරුදු විස්ස ලබන තෙක්ම උන්දෑ ගිහිං තිබුණේ දකුණු පලාතෙං ගාල්ලටත්, බස්නාහිර පලාතෙං කොළඹටත් විතරයි. මගෙත් එක්ක නුවරඑළිය හරහා නුවරට ගිය ගමං කීපෙත් එක්කහු වුනාම රටෙං මහා ලොකු පදාසයක්ම චූටි මැණිකේ අඩිය තියපු තැං නෙවෙයි. ඒ ගමන අපි කල්පනා කළේ මේ ඉන්න අල්ල පනල්ලේ අනුරාධපුරේ ඇවිදින්නට ගියොත් හොඳයි කියල. 


ඒකට අවශ්‍ය ලොකුම අඩුව වන වාහනේ අපි කලින්ම අරගෙන තිබුණා. අපි මේ වෙනකං ඒකෙන් කළේ වාහනේ දුං සහතිකේ ගන්නට දුං අල්ලන ස්ථානයට යාම, අඩු පාඩුවක් ආවොත් හදන්නට ගැරිජ් එකකට යාම, ආදායං සහතිකේ ගන්නට බස්නාහිර පලාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට යාම, අවුරුද්දකට වතාවක් වාහනේ බාරෙ අලුත් කරන්නට කතරගම යාම, මාසෙට සැරෙයක් ගෙදරට බඩු මුට්ටු ටික ගේන්නට මීටර් දෙසීයක් විතර දුරිං ඇති සුපර් මාකට් එකට යාම, ඉඳලා හිටලා ගමේ ගිහිං ඒම විතරයි. ඒ හංදා වාහනේ අටානූවක් හංදි දිගෑරෙන්නට මේ වගේ ගමනක් ගිහිං ඒම අවුලක් නැති වග අපිට හිතුනා. ඉතිං වැඩිකල් නොයවාම මං අපේ ඔලු කාර්යාලයට (head office) කතා කෙරුවේ අනුරාධපුරේ තියෙන අපේ දෙපාර්තමේන්තුවට අයිති නිවාඩු නිකේතනය වෙන් කරගන්න. එතනිං දැනගත්තු විදිහට මේ මහා භද්‍ර කල්පය ඉවර වෙනකං එක දවසක්වත් ගන්න බැරි තරමට හැමදාටම එතන පොත් (book) වෙලා ඉවරයි. අපිත් එක්ක එකට ඉගෙනගත් දන්නා අඳුරන අය ඒ අහල පහල කිලෝ මීටර් විස්ස තිහ දුරින් හිටියත් අපේ ඕනාවට යන ගමන කාටවත් කරදරයක් වෙන්න යන එක හරි නෑ. ඒ අතරේ දියතලාවෙ පුහුණු වෙච්චි කාලෙ අපිට අල්ලපු කාමරේ හිටිය අපේ කණ්ඩායමේ කෙනෙක් අපි දෙන්නට නවතින්න අපේ දෙපාර්තමේන්තුවට අයිති පූට්ටු කඳවුරක් ලෑස්ති කරල දුන්නා. ඉස්සර කාලෙ ලංකා මැනුම් කරද්දි තාවකාලික මැනුම් කඳවුරු විදිහට පාවිච්චි වුන මේ පූට්ටු කඳවුරු සමහර ඒවා දැං මේ විදිහට ස්ථිරේටම එක එක තැන්වල හයිකරල තියෙනව. එයින් අනුරාධපුරේට ගෙනත් හයිකරපු එකක් තමයි අපේ නවාතැන.


දැං ගමනට වාහනෙත්, නවතින තැනත් ලැහැත්තියි. ඊළඟට බලල් කටයුතු. අපි පහුගිය සැරේ ගමේ ගිය වෙලාවේ අධ්‍යයනයකිං සොයාගත් පරිදි බළලුන්ට කේ.පී හතරක ප්‍රමාණයත්, නාන්න තරං ලොකු වතුර බේසමකුත්, තැම්බූ මාලු පන්සීයක් විතර සහ හාල්මැස්සන් දෙසිය පනහක විතර ප්‍රමාණයකුත් පිඟන්වලට දමා තියා ගියවිට අහල පහල ගෙවල්වල පදිංචි 'ටීචර්' සහ 'බෑනා' ඇතුළු සියලු බළලුන්ට පැය 48 කට වැඩි කාලයක් පූස් සොමියක් ගන්නට පුළුවන්. ඒ හංදා මෙදා සැරෙත් ඒ පූස් සොමිය ගන්නට අපි සතොසෙ මාලු කඩේ සාදර අනුග්‍රහයෙන් (අපේ වියදමින්) පාටියක් සෙට් කරල දුන්නා. 


වැඩක් කරන්න යද්දී කිසිම බාධාවක් සිද්ධ වුනේ නැතොත් හරි නැති හංදා නන්නාඳුනන විෂබීජ කණ්ඩායමක් මට උණ මිශ්‍රිත හෙම්බිරිස්සාවකුත් ඒ මදිවාට උගුරේ මහා සෙංගෙඩි ඵලදාවකුත් දෙන්නට තීරණය කලා. අන්තිමේ දී දෙපාරක් බෙහෙත් අරගෙන උණ එළවා දැම්මත් අනික් ලෙඩ ටික එළවන්නට තවත් වෛවර්ණ බෙහෙත් පෙති, කරල් එක්ක බිව්වහම පාවෙන වර්ගයේ පැණියකුත් දෙන්නට වුනා. 

අපි දෙන්නාට සතියකට ඇතිවෙන තරං රෙදි පිරවූ බෑක් දණ්ඩක්, ලීටරේ වතුර බෝතල් මහ ගොඩක්, බල බැංකු (power bank), ආරෝපක (charger), දත්ත රැහැන් (data cable), සූරිය පැනල ආදී අත්‍යාවශ්‍ය බඩු ලන්දක්, පොල්තෙල්, හඳුංකූරු, අලුත් ඇඳුමක් ආදී පූජා භාණ්ඩ පටවාගෙන අමතක වෙච්චි දේවල් මොනවාදැයි බලන්නට පැය ගානක් සැරින් සැරේ එව්වා කොනක ඉඳන් ගැන බැලීමෙන් තවත් පැය ගානක් පරක්කු වුනායින් පස්සෙ උදේ පාන්දර පහට විතර අපි දෙන්නා ගෙදරින් පිටවුනා. 

මහියංගනේ කිට්ටුවදී දිය සලකුණු තැබීමට නතර වූ තැනක්

ඒ වෙත්දිත් හත් අටදෙනෙකුගෙන්ම පාර අහගෙන ඒවා මතක තියාගන්නට ගිහිං මගේ ඔලුවේ ඇඳිලා තිබුණු සිතියම තම්බි තොප්පියක් වගේ එකක්. ඒ හංදා මහියංගනයෙන් එහාට පාරෙ ඉන්නා මිනිස්සුංගෙං පාර අහගන්නට අපි තීරණය කරගත්තා. ගූගල් සිතියම පාවිච්චි කරන්නට ගිහිං නුවරදී මට්ටු වුනායිං පස්සෙ ආයෙමත් ඒ ගැන හිතන්නටවත් මං කැමති නෑ. එයිං ගන්නට පුළුවං ලොකුම ප්‍රයෝජනේ ටෙලිපෝන් එකේ බැටරිය බස්සා ගැනීමත්, තමුන් ඉන්න තැන කාටවත් විස්තර කරන්නවත් බැරි විදිහට අතරමං වීමත් කියන දෙක විතරයි. ඒ හංදා අපි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජනතාව, ත්‍රීරෝද රථ සංගම්, කඩපාලු සංගම්, බෝක්කු සංගම්, ඒකාබද්ධ ටියුෂන් සිසු එකමුතු, කොළපාට බෝඩ් සහ ශ්‍රී ලංකා පොලීසිය කියන මං සලකුණු වලට මුල් තැන දුන්නා.


පළමුවෙන්ම මහියංගනයෙන් දඹුල්ලට යන පාර කියාදුන්නේ බස් එකක් එනතෙක් බස් නැවතුමක සිටි කෙනෙක්. ඒ මහතා පෙන්වා දුන් පාරෙ පැයට හැතැක්ම හතලිහේ වේගෙන් පැය බාගයක් විතර මංගැච්චුවට පස්සෙ අපි පළවෙනි මංමුලා වැල පාගාගෙන බව මට දැනෙන්න ගත්තා. ඒ බව තහවුරු කරපු පාර අයිනේ සිටි ටියුෂන් යන දරුවෙක් කීවේ අපි ඉන්නේ අම්පාරට යන පාරේ බවත් තවම එහෙං දඹුල්ලට යන්ට පාරක් නැති හන්දා, ආපහු මහියංගනේට ගිහිං අසුවල් බේකරිය ලඟින් ඇතුලට පාරෙ යන්න ඕන බවයි. අපි ආපහු හරවාගෙන පැයට හැතැක්ම පනහේ වේගයෙන් මහියංගනේට ඇවිල්ලා එතනිං දඹුල්ලට යන පාර හොයාගත්තා. එයිං පස්සෙ හම්බුවෙන හැම හන්දියකින්ම නැවතිලා එක්කෙනකුගෙන් පාර අහගත්තා. ඊළඟට පළවෙනියටම හම්බුවෙන කෙනාගෙන් ඇත්තටම ඒ 'අසුවල් දිහාවට' යන පාරද කියල තහවුරු කරගත්තා. ඒ විදිහට අහලත් සමහර වෙලාවලදී පාරවල් වැරදිලා කිලෝමීටර් අට දහය ඉබාගාතේ ගිය වෙලාවලුත් තිබුණා. සමහරු පාර කිව්ව විදිහට ඒ හරියෙ ග්‍රාමසේවක රාලහාමිටත් පාර වරදිනව.

"කෙලීම්ම ගිහිං ඇල ගාවින් මේං මේ පැත්තට හැරෙන්න"

එක්කෙනෙක් අතින් පෙන්නපු දිහාව හරියටම වැටෙන්නෙ ඔරායන් තරු රටාව ඇතුළට හරි සෙනසුරුගෙ වළලු සෙට්ටෙක මැදට හරි. 

"ඔය ඉස්සරහිං තියෙනව ලොකු ................ ගහක්. එතනිං මෙහෙක්ට"


ඒ කියන ............. ගස් ජාතිය මං දන්නැති බව කිව්වම පාර කියපු කෙනා මූන වට්ටියක් වගේ කරගෙන මා දිහා බලං ඉඳලා ඒ ගස් ජාතිය අඳුරගන්න හැටි විස්තර කළා.


"ඉස්කෝලයක් හම්බුවෙයි. ඊට කලින් තියෙන හංදියෙන් දකුණට නිපොන් පාලම"

තව එක්කෙනක් වමට අත දික් කරල කිව්වා. අපිත් ඉස්කෝලෙ හම්බුවෙනකං ගිහිං ආපහු හැරිලා ආවා. එතකොට පාළම වමෙන් දකුණට මාරු වෙලා.


ඒ පාරවලුත් සෑහෙන හොඳයි. සමහර පාරවල්වල පාර පළල් නොකරම කාපට් දාලා මැද ඉරත් ගහලා. අසෝක අධිරාජ්‍යයාගේ පරම්පරාවේ ලේලන්ත රථයක් මූනට එනකොට වාහනේ කිහිල්ලෙ ගහගෙන නියරකට පනින්න ඕන. එහෙම නැත්තං ඇස්දෙක පියාගෙන කලිං කරපු පින් සිහි කරගන්න ඕන. ඒ අතරෙ තැනින් තැන බුලත් කොලේ හැඩේට හෑරිච්ච අලි නාවන්න පුළුවං වළවලුත් තියෙනව. නොදැක එව්වයෙ වැටුනොත් වාහනේ විතරක් නෙවෙයි වාහනේ යන මිනිස්සුංගෙ ඇටකටු වලිනුත් සීනු හඬ මතුවෙනව.


ඒ විදිහට පැය ගානක් රස්තියාදු වීමෙන් පස්සේ දඹුල්ලේ රත්තරං පන්සලේ බුදු පිළිම වහන්සේ දකිත්දී ජීවමාන බුදුහාමුදුරුවන් දැක්කා තරං සන්තෝසයි. අපි කොහොම හරි දඹුල්ලටම ඇවිල්ලා නොවැ. ඒ වෙත්දිත් බදුල්ලේ ඉඳලා දඹුල්ලට එන්න පැය 6 කට වැඩි කාලයක් ගත්තු එකම එළවන්නා විදිහට මම වාර්තාවක් තියල ඉවරයි. එතන ඉඳලා ඒ9 පාරෙ කෙලින්ම අනුරාධපුරේට කියල හිතාගෙන දකුණට හරවලා ඉස්සරහ බලත්දිම වට රවුං, හන්දි පෝලිමක් අපි එනමග පිලිගන්නට බලං ඉන්නව. ඒ හන්දා පාර අයිනෙ නවත්තලා කාගෙන් හරි පාර අහන්න හදත්දිම අපිට ආශිර්වාද ලැබෙන්න ගත්තා.

"මේ ... ඕක අහකට ගන්නෝ... මෙතන අපේ පාක්කෙය. පේන්නැද්ද?"


"මෙතන කස්ටමස්ලගෙ වාහන විතරයි"


"No parking"

"පෑං... පැක් පැක්... බීක් .......කොපිරට කොපි රට, දං ගර පට කුඩ, දං ගර පටකුඩ"


ත්‍රීරෝද සංගම්, රෙදි කඩවල සිකුරුටි මහත්තුරු, එලෝලු ලොරි, වැලි ටිපර්, හාල් ලොරි, ඩබල් කොන්දොස්තර දාපු පුල් එන්ටටෙන්මන්ට් වීඩියෝ කෝච් අපේ පස්සෙං එලෙව්වා.

අපි ආරක්ෂාව පතා සුදුපටිධාරී ට්‍රැෆික් මහත්තුරු දෙන්නෙක් ළඟ නැවැත්තුවා. එතනට අරක්ගත්තු කවුරුත් හිටියෙ නැති නිසා අපට ඉතුරු වටරවුම් ප්‍රහේලිකා ටික විසඳගන්න ක්‍රමේ අහගන්න පුළුවං වුනා. එතන ඉඳං අපේ ජනප්‍රියම ක්‍රමේ වුනේ පොලිසියෙං පාර අහන එක.


ඒ9 පාරට අපි සියුමැලි වැඩියි කියල තේරුං යන්න මහ වෙලාවක් ගියේ නෑ. ලංකාවේ දකුණු කෙලවරේ තියෙන හැම ගමකින්ම යාපනේ බලා විදින ලේලන්ත රථ ඔක්කොම යන්නෙ ඒ පාරෙ. කොටිම්ම ඇන්ටාක්ටිකාවෙන් සයිබීරියාව හරහා ආක්ටික් වෙනකං යන එව්වත් යන්නෙ ඒ පාරෙ වෙන්න ඕන. එක හෝන් පාරෙං පාරෙ තියෙන වාහන ටික පිඹල අහකට කරන එහෙව් බස් යන්තරවල හුලං පාරට අපිව නිකම්ම වැනිල යනව. පිටේ හයිකරපු නගුල් උස්සගෙන තව යායක් බලා ඉගිලෙන ටැක්ටරයක්, එලෝලු අදින ඩිමෝ බට්ටෙක්, ලෑන්මහත්තයෙක් ඇරෙන්න වෙනිං වාහනයක් පහුකරන එක අපිට කරන්න අමාරු වැඩක්. 


අන්තිමට අනුරාධපුරේ පූජා නගරෙට කිට්ටු වෙත්දි දවල් දොලහ පහුවෙලා ඉවරයි. ජයග්‍රාහී පැය 7 ක විළිලැජ්ජාසහගත ගමනකිං (පැයට හැතැක්ම විසිගානක වේගෙකිං) අනුරාධපුරේට සේන්දු වෙච්චි අපි ඉතාමත් මරි මෝඩ විදිහට ගිනියං දවාලේ සිද්ධස්ථාන වඳින්න යන්න පටං ගත්තා. ආයෙමත් පාර අයිනේ හිටිය ටියුෂන් ළලනාවියෝ දෙන්නෙක්ගෙං පූජා නගරෙට යන පාර ඇහුවා. 

"මෙහෙං යන්නත් පුලාං.."


එක්කෙනක් දබරැඟිල්ලෙං රවුමක් ඇඳල පෙන්නුවා.


"ඔආලට ඕන්නං මේං යන්නත් පුළුවං"


අනික් එක්කෙනා වමට කැරකුණ වාලම්පුරියක් වගේ ඇඳල පෙන්නුවා. අපි වාලංපුරිය තෝරගත්තා. ඒ පාර අපිට වැරදුනේ නෑ. පළවෙනි වට රවුමෙම සේරම සිද්ධස්ථානවලට යන පාරවල් ලකුණු කරල තිබුණා. කෙලින්ම ශ්‍රී මහා බෝධිය ගාව වාහන නැවතුමේ නවත්තල සෙරෙප්පු සේරමත් වාහනේම දාල තියල තෙල් බෝතලෙයි, හඳුංකූරු පෙට්ටියයි අරගෙන සැදැහැ සිතින් තාර පාරට අඩිය තිබ්බා. සුදු ඉරේ හිටිය පොලිස් රාලාමි වන්දනා නඩ ආපු බස් දෙකක් එක හස්ත සංඥාවෙන් නවත්තලා අපිට පාර පනින්න ඉඩ හදල දුන්නා. මල් විකුණන කඩ තියෙන්නෙ අපි කලින් හිටපු පැත්තෙ බව දැක්කෙ එතකොටයි. ආයිමත් සුදු ඉරෙං මෙහාට පැනලා මල් කඩ තියෙන පැත්තට කිට්ටු කළා. 


දෙමළ චිත්තරපටිව ඉන්න මැරයො වගේ ලොකු මාල දාගෙන, උඩු රැවුල වවාගෙන කමිසෙ බොත්තං හතරම ඇරගෙන මහ සද්දෙට කෑ ගහන මල් මුදලාලිලා තමුන්ගෙ කඩේ ඉඳං යාර ගානක් එළියට අත් දික්කරගෙන අපිට තර්ජනේ කලා. 


"මේන්ඩ... මෙං ගන්ඩ මල් ආ....හ්"


"ඔය නෝනා... මල් ගන්ඩ මේං.. ඔයෙ යන්ඩෙපා"


බොහොම බයානක පෙනුමක් තිබුණ මල් මුදලාලි කෙනෙක් අපි වගේම බයවෙලා හිටිය මල් මිටක් අපේ අතට දීල සල්ලි ටික උදුරගත්තා. තව තැනකිං හතර කොන නවපු කාඩ්බෝඩ් කෑල්ලක් උඩට මල් ටිකක් ගුලි ගහල හදපු "මල් වට්ටියකුත්" අපේ අතට පැන්නා. ඒ මල් සේරම උඩු අතට හරවලා පූජා කරන්න සුදුසු තත්වෙකට හදාගන්න අපිට තවත් විනාඩි ගානක් ගියා.


ඒ වෙත්දි ශ්‍රී මහ බෝධියට ඇතුල්වෙන පඩිපෙල ගාව ඉහලින් ගේට්ටුව වහල ඉවරයි. 


"පූජා වට්ටි ගන්නෙ තව පෑකින්. දැං ගත්තට කන්ලව් කරන්නෑ. කප්මාත්තුරු කෑමට ගීල්ල"


ගේට්ටුවට ඇතුලෙං හිටිය සුදු සූට් ඇඳපු අය ගේට්ටුවෙං පිට හිටපු පළතුරු වට්ටි ගෙනා සැදැහැවතුන්ට තරවටු කලා. 

"අයියෝ... ඒ තරං වෙලා ඉන්න බෑනෙ"

සැදැහැවන්තියක් පලතුරු වට්ටියෙ වහපු මැස්සෙක් එලෙව්වා.

"කරන්දෙයක් නෑ"

සුදු සූට් කාරයා ගෙරෙව්වා.


චූටි මැණිකෙගෙ මූන බිමට පාත් වුනා.


"මේ මල් වට්ටිය තියන්න බැරිවෙයිද?"


මං මල්වට්ටිය අරගෙන ගේට්ටුව ගාවට කිට්ටු කලා. බනිස් කෑල්ලක් දැක්කම ලකියගෙ කං දෙක කඩාහැලෙනව වගේ අසරණ මූනක් හදාගෙන සුදු සූට් කාරයෙක් දිහා බැලුවා.


"මහත්තයා... අනේ මේ අපි වෙනුවෙං මේ මල්වට්ටිය පූජා කරන්න පුළුවනිද? ඔබතුමාට බොහොම පිං."

සුදු සූට්කාරයා මගෙ මූන බැලුවා. 


"කෝ දෙන්න."

සුදු සූට් කාරයා මගෙ අතින් ගත්ත මල් වට්ටිය ශ්‍රී මහ බෝධියෙ මල් අස්න උඩිං තියද්දි පහල මලුවෙ ඉඳං චූටි මැණිකෙ හිනා වුනා.

Sunday, November 26, 2017

තොරණ හෙවත් Pandol ඉවරයි


වලියට එක්කහු වෙන සමහරු ඒකට හේතුව දන්නෙත් නෑ. ඒ වුනාට තමුං කාලයක් තිස්සේ 'හොඳවෑං දෙකක් අනින්න' බලං හිටපු එකෙක් එතන ඉන්න එක ඇති. කවුරු දුන්නද කියල හිතාගන්න බැරිවෙන්න සෙනග ගොඩ මැද්දෙ හැංගිලා උගෙ කන පලන්න මෙයිට වඩා වෙලාවක් කොහෙද? ඔය විදිහට රණ්ඩු ජෝඩු එක්කහු වෙලා වලියට සෙනග වැඩිවෙලා වටේට බෝ වෙද්දි මිනිස්සුන්ට එතන ගහගන්න ඉඩ මදිවෙනව. එතකොට ඒ පොදියෙං එලියට විසිවෙන 'වලි ජෝඩු' වෙනම ගහගන්නව. එතකොට සෙනග වැඩි හංදා මහ වලියට නොයා හිටපු අය ඒ සිඟිති වලියට පැනල ඒක ලොකු කරන්න දායක වෙනව. ඔය විදිහට බෝවෙන ලෙඩක් වගේ මහපාර, කාණු, කඩපිල් වහගෙන වලිය පැතිරිලා යද්දි


"පොලිෂ්යෙන් පොලිෂ්යෙන්"

කියල දෙතුං දෙනෙක් කියනව. අසුරු සැනෙං වලියෙ වටේට හිටපු රෑනක්ම සක්කොලක් නැතුව දුවනව. තමුංගෙ ළමයි, ගෑනු එක්ක ඇවිල්ලා හිටපු අය එක තප්පරෙං වලියෙං අහකට පැනලා සරොං පාත දාගෙන තමුන්ගෙ ගෑණිගෙ අතේ හිටිය  ළමයව උදුරලා අරං වඩාගන්නව.  තමුංගෙම ළමයි නැති අයත් ඊළඟ තප්පරේදි තම තමංගෙ හිතවතුන්ගෙ වැඩිපුර ඉන්නා ළමයිංගෙං කෙනෙක්ව ණයට අරං වඩාගන්නව. ඊළඟ තප්පරේදී ඒ අවට ඉන්න අවුරුදු හතේ අටේ දඬු ළමයි පවා කකුල් බිම ගෑවි ගෑවි වඩාගැනිලා ඉවරයි. තමුන්ට ලැබිච්චි මේ අලුත් තාත්තා කවුදැයි කියල ඒ ළමයි බලද්දි අලුත් ගොමගොඩවල්වල පාට කලිසං කමිස ඇඳලා,  කලුම කලුපාට  තොප්පි දාලා, ඉස්සරහට දිලිසෙන තහඩු කෑල්ලක් හයිකරපු කලුපාට පටියකිං තුනටිය වෙං කරපු පොලිස් රාලහාමිලා දෙන්නෙක් විසාල පැටිග්නම් කූරු වගේ පොලු කෑලි දෙකක් අරගෙන එතනට සේන්දු වෙනව. ඒක දකින පොඩි ළමයි රැලක්ම අඬන්න පටංගන්නව.

"වාව අල්ලය්යල්ලෙෆා.... වං වත් කලවා......"


"වංගායි වොල්ටිසෝලි යල්ලැතුව ඉල්ලෑ......"


"වං ආයි එලිවෙං ඉල්ලෙ ලෑ....."


අම්මලා තමුංගෙ ළමයින්ට බත් කවන්න, උංව මොන්ටිසෝරි යවන්න, හෙලුවැල්ලෙං නටනකොට ඇඳුං අන්දන්න වගේ වැඩවලට පොලිසියෙ නම විකුණපු හැටි එළියට එනව. පොලීසියත්, ටවුමෙ ඉන්න පිස්සො කීපදෙනත්, ගමේ ඉන්න බඩවල් තඩි බයානක පාට මිනිස්සු කීපදෙනත්, ග්‍රාමසේකර රාලාමිත්, හග්ගුඩු බිල්ලා, ගොරෝන හප්පා, බ්‍රහ්ම කටක ලොම්බා, ළමයි අල්ලන බිල්ලා වගේ ජීවිතේට කිසිම කෙනෙක් දැකල නැති කීප දෙනාත් නැත්තං අපේ ගමේ ළමයි හාමතේ, හෙලිවැල්ලෙම්ම මැරිල යනව. 


තවමත් වලිය තිවිච්චි හරියෙං අයිං වෙලා වෙස් මාරුකරගන්න බැරිවෙච්ච කීප දෙනෙක්ව රාලහාමිලට අහුවෙනව. රාලහාමිලත් ඒ අස්සෙ ඉන්න ඇඟපත මහතට තියෙන එක්කෙනක් දෙන්නෙක්ට හෙමිහිට මාරුවෙන්න ඉඩ ඇරලා කෙට්ටු අය කීප දෙනෙක් විතරක් අල්ලගන්නවා. ඒ අයට සට පට ගාල කනේ පාරවල් දෙක තුනකුත් වදිනව. 


"අනේ සාලාමි ගාන්නෙපා."

කෙට්ටු අය රාලාමිලට වඳිනව. රාලහමිගෙ ඉනේ තියෙන කූරක් අමුණපු කලුපාට කවකටු පෙට්ටිය බෙරිහන් දෙනව.


"ෂාෂා ෂාෂෂෂාෂාෂා... සොරෝස්."

රාලහාමිත් ඒ පෙට්ටිය අතට ඇරං ඊට වැඩිය සැරෙං පෙට්ටියට කෑ ගහනව. එතකොටම නිල්පාට ගාපු පොලිස් ජිප්පෙකත් එනව. රාලහාමිල දෙන්න ඒකෙ පිටිපස්සෙ දොර ඇරල කෙට්ටු මිනිස්සු ටික පටෝගන්නව. තව එක්කෙනෙක් ඇතුලෙ ඉඳං කෑ ගහනව.


"මෙච්චරද ඉන්නෙ?"


බිම ඉන්න රාලහාමි කෙනෙක් ආයිමත් සෙනග අතරෙ ඉන්න ළමයි වඩංගෙන නැති කෙට්ටු මිනිහෙක්ව ඇදල අරගන්නව.


"අනේ මං මේ මුකුද්දන්නෑ සාලාමි"


එයා පිංසෙන්ඩු වෙනව. ඒ එක්කම ගෑණු කෙනෙක් ළමයෙක්ව වඩාගෙන එතනට පනිනව.


"අනේ රාලාමි මගෙ මිනිහ සණ්ඩුවට ගියෙ නෑ."


රාලහාමි ඒ ගෑනු කෙනාට ඇඟිල්ල උරුක්කරල සැර කරල එළවගන්නව. රාලහාමිල දෙන්නත් ජිප්පෙකට නැගල දොර වහගන්නත් කලිං ජිප්පෙක පොලිසිය දිහාවට ඉගිලෙනව. ඉං පස්සෙ මිනිස්සු තම තමංගෙ ළමයි මාරු ඇරගෙන "යස වැඩේ ඕකුන්ට සණ්ඩුවලට යනවට" කියලා පොලිසියට අහුවෙච්චි අයට බැණ බැණ තොරණ දිහාවට යනව.


අපිත් සෙනග පොදියට අහුවෙලා තොරණ දිහාවට ඇදිල යනව. ඒ අතරමගදි යකෙක්ගෙ කටක් අස්සෙං රිංගලා දිසානායක කඩේ පිළිකන්න පැත්තට යන්න තියෙන "අපාය" කියන එක බලන්න යන්න සමහර අම්මලට ඕන වෙනව. ඒ යක් කට ඉස්සරහ තියෙන බපල් පෙට්ටිවලිං ඇහෙන ලතෝනි සද්ද එක්ක එතනිං අඩියක්වත් ඇතුළට තියන්න කාටවත් හිතෙන්නෙ නෑ. ඒ වුනාට තමුංගෙ ඇට්ටර ළමයි මට්ටු කරන්න ලැබිල තියෙන "අපායෙං" වැඩක් ගන්න හිතාගෙන අම්මලා ළමයිංව ඒකටම ඇදං යන්න හදනව.


"යමං තොට පෙන්නන්න අට්ටරකං කොන්න එවුන්ට වෙන එව්ව පෙන්නන්න."

අපායට යන තැන ටිකට් කඩන මිනිහත් ඒවට උල්පන්දං දෙනව.

"එන්න. ඇට්ටර ළමයි මේක බැලුවහම ආයි කිසියම්ම කිසි දවසක ඇට්ටර වැඩ කරන්නෑ"

සමහර ළමයි එතැනදි 'ඇට්ටර වැඩ කිරීම, රණ්ඩු කිරීම, දෙමව්පියන්ට බැණීම, කුණුහරප කීම, සීනි, උම්බලකඩ හෝ පොල්බෑය හොරෙං කෑම, නහය හෑරීම, ඇද ඇල්ලීම, සෙල්ලං බඩු ඉල්ලීම, කඩචෝරු ඉල්ලීම,' වගේ වැරදි ජීවිතේට නොකරන්නත් ඒ වෙනුවට 'හැමදාම ඉස්කෝලෙ යාම, බඩ පිරෙන්නම දෙන දෙයක එක්ක බත් කෑම, පාන්දරිං ඇහැරීම' වගේ හොඳ දේවල් කරන්නටත් පොරොන්දු වීමෙං එතනිං ගැලවෙනකොට අපායට ටිකට් දෙන යම රජ්ජුරුවන්ගෙ මූණ ඇදවෙනව.


තොරණෙ ආධාර කවි කියන එක නැවතිලා ඒ වෙනුවට ජාතක කතාව කියන්න පටං ඇරගෙන. ඒ අතරෙ දුරාවාරෙ ලැබෙන ආධාරත් රිංගවනව.


"තුන්වෙනි කොටුවෙන් පේන්නේ අප මා බෝසතානං වාන්සේ තමංගෙ යහළු මිත්‍රයින් සමග බඩු භාණ්ඩ පටවාගෙන රුවල් නැව්වල නැගිලා පිටරටවල්වල වෙළඳාමේ යන්ට පිටත් වෙනවා. එහෙම පිටත්වෙන්ට කලින් තමන්ගෙ මෑණියන් වාන්සේ හමුවෙලා මෙහෙම කියනව."

"දට්ටොහ්ටොහ් දට්ටොහ්ටොහ් 
  මගෙ පින්බර මෑණියනේ මා කියනා දේ                 අහන්න..
  මේ බඩු ටික විකුණන්නට පිටරටකට ගිහිං              එන්න...
  නැව් නැග යන්නට තිබෙනව මගෙ මිතුරන් සමග    ඔන්න...
  ඒ ගමනට ගිහිං එන්ට මට ඔබෙ අවසරය                 දෙන්න..
  දබද් දබද් දොක්"

"බෝසතානෝ මෙහෙම කියනකොට.......ඈ... නම කියන්න හා.
  පොතුපිටියේ සිට පැමිණි නොංචි හාමිනේ උපාසිකා මාතාව සිය මියපරලොව ගිය දෙමාපියන්ට සෙත්පතා රැපියල් දහයක් පරිත්‍යාග් කන්නොවා....."


ආච්චි අම්මා කරේ තියෙන සාලුව වැලමිටේ දාගෙන වැඳගෙන බණ කතාව අහනව. උන්දැට ඉලක්කං බැරි හන්දා සැරිං සැරේ කියන ඉලක්කංවලට අදාල කොටුව පෙන්නා දෙන්න අපිට සිද්දවෙනව.

"අර කොණ්ඩෙ උඩට ගෙඩ්ඩ වගේ හිටින්න බැඳපු මිනිහෙකුයි සාරියයි බොඩියයි ඇඳපු ගෑනියෙකුයි ඉන්න එක තමයි ඔය කිව්වෙ ආච්චම්මෙ."


"අර බුදුහාන්දෘවො ඉඳං ඉන්නවට පල්ලෙං මේ පැත්තෙ තියෙන්නෙ"


"ගෑණියෙක් නෙමෙයි ළමයො පව් සිද්ද කොරගන්නැතුව හිටාං. ඒ දේවින්නාංසෙ කෙනෙක්. අර ඉන්නෙ කුමාරය"


ආච්චි අම්මත් මාවයි චන්දරෙ මාමලෑ අයියයි අක්කයි පාපෙං ගලවා ගන්න අපි ලව්වත් වන්දවන් හදනව. අපිත් වැඳගන්නව. හැම කවියක් අන්තිමේදිම රබාන "දබද් දබද් දොක්" කියපු ගමං ආච්චි අම්ම සාදු කියනව. ඉං පස්සෙ සාදු කියන්න කියල අපිවත් බය කරනව. 

"සාදු කියහල්ල. නැහ්නං පව් සිද්දවෙනව"

අපි තුන්දෙනත් පව් නැතිවෙන්න සාධු කියනව. කවිකාරයත් ආධාර ටිකට කවි කියල ආයිමත් ආධාරයක් එනකං ජාතක කතාව කියවනව.


"ඊළඟ පස්වැනි කොටුවෙන් පේන්නෙ මේ පිරිස මහා සාගරයේ වෙළඳාමෙ යද්දි විසාල කුණාටුවකට අසුවෙන අවස්ථාව. 

"සාගරේ කුණකටුවො ඉන්නවද අම්මෙ?"

ඒ අතරෙ නෝනක්කා අහනව.

"කුණකටුවො නෙමෙයි පුතේ කුණාටුව. හයියෙං හුළඟක් එන එකනෙ ඒ කියන්නෙ."

විශාල රළ ගෙඩිවලට නව්කාවන් අසුවෙලා ඒ මේ අත විසිවෙනවා. වෙළෙන්දන් දෙවියන්ගෙන් බේරාගන්න කියා ඉල්ලනව"


"දට්ටොට්ටොහ් දට්ටොට්ටොහ්
  මහ විසාල කුණාටුවක් සාගරයේ                  හටගන්නව...
  මහ නැව් රුවලුත් ඉරමින් මහ විනාසයක්      කරනව..
  දට්ටොට්ටොහ් දට්ටොට්ටොහ්

  මහ රළගෙඩි පෙරලීගෙන ඇවිදින් නැව්වල   හැපෙනව...
  අන්තිමේදී බෝසතුන්ගෙ නැව පෙරලිල        ගිලී යනව..
  දබද් දබද් ටොක්..."


"සාදු සාදු සා.....දු"


පවෙන් බේරෙන්න හිතාගෙන අපිත් සාදු කියනව. වටේ ඉන්න මිනිස්සු අපි දිහා බලල හිනාවෙනව.


වෙනදට බඩට වැටෙන බත් ටික නැතිවීමත්, නිදාගත්ත වෙලාව පහුවීමත්, හිටං ඉඳලා කකුල් කඩිත්තුව හැදීමත්, හංදා කවි හතරක් පහක් ගතවෙද්දි තවදුරටත් කොයි තරං පවු සිද්ධවුනත් වැඳං ඉන්නත් සාදු කියන්නත් බැරි තත්වෙට අපිව පත්වෙනව. එතකොට ඒ හේතුවලට අමතරව ළමයි වඩාගෙන ඉඳීම කියන හේතුවත් එක්කහු වෙලා ලොකු අයටත් තොරං බැලිල්ල එපා වෙනව. ඇට්ටරකමට අල්ලගෙන ඉන්න ආච්චි අම්මටත් හිටං ඉඳලා කකුල් කඩිත්තුව හැදෙද්දි උන්දැම ගෙදර යන්න හේතුවකුත් හොයාගන්නව.


"මේ ගෑනු සැරිං සැරේ සුපියල් දහය විස්ස දික්කොන්නොව අතන ගිහිං. අර මනුස්සයට ජාතක කතාව කියාගන්නවත් දෙන්නෑ. ඔන්නොහෙ යමල්ල යන්න."


හැමෝටම ඒ වචනෙ ඇති. ආච්චි අම්මගෙ හිත වෙනස්වෙන්න කලිං අපි ආපිට හැරෙනව. තව ඩිංගෙං තොරන් පොලෙං යන්න වෙන හන්දා මොනව හරි සෙල්ලම් බඩුවක් ගන්න හිතාගෙන අපි වටපිට බලද්දි ළමයින්ට ඒ කිසිම දෙයක් නොපේන්න බස් එකට නැගගන්න උවමනාවෙං අම්මා මාව වඩාගෙන සෙනග මැදිං විදිලි වේගෙං ආපහු යන්න පටං ගන්නවා. සෙල්ලං බඩු වෙලෙන්දන්ගෙ වාසනාවට ඒ වෙත්දි අපිට යන්න බස් එකක් නැති වෙනවා. බස් එකක් එනකං ඉන්න අතරෙ අත කැපෙන බෙලෙක් ලංගම බස් එකක්, මුද්දෙං අදින නලාවක්, 'පර්ර්ර්ර්ර්' ගාන නලාවක් වගේ සෙල්ලං බඩු කීපෙකුත් අරගන්න චන්දරෙ මාමලගෙ අයියටත් මටත් පුලුවං වෙනව. අපි එහෙම දෙයක් ගන්න හැම වෙලාවකදිම 'හුලං බබා' තරං ඔය කිසිම සෙල්ලම් බඩුවක් ලස්සන නැති බව නෝනක්කට කියන්න අපේ අනික් හැමෝටම සිද්ධ වෙනව. ඒ අතරෙ 

"මිං පස්සෙ තෝව කිසියම්ම කිසි තැනක එක්ක යන්නෑ"

"ආයි කිසිම බඩකඩිත්තුවක් ඉල්ලුවට ඇරං දෙන්නෑ"

වගේ දැඩි තීරණ මට දැනුං දෙන්නත් අපේ අම්මට සිද්ද වෙනව.

එතනම කැරකෙන වඩේ කාරයො, කඩල කාරයො කීප දෙනෙකුත් අපේ අම්මගෙ පොකට් එකේ බර අඩු කරගන්න උදව්වෙනව. 


තවත් පැය ගාණක් බලං, හිටං, ඉඳං, ඇවිද ඇවිද හිටියට පස්සෙ පාං ගෙඩ්ඩක් වගේ බස් එකක් ඇවිල්ල නවත්තනව. කොන්දොස්තරටවත් බහින්න ඉඩ නොදී මිනිස්සු බස් එකට නගිනව. බිම ඉන්න අය පොඩි ළමයින්ව ජනෙල්වලින් බස් එක ඇතුළට දානව. සෙනගට තෙරපිලා නෝනක්කගෙ 'හරි ලස්සන හුලං බබා' පුපුරණව. මිනිස්සු තමුංගෙ කණ ගාව පුපුරපු එක මොකද්දැයි බලද්දි ඒ ඉඩෙං අපිව ඇතුලට තල්ලු වෙනව. ඒ විදිහට බ්ලොක් ගලක් අස්සෙ වැලි කැට හිරවෙනව වගේ තදවෙලා පැය ගානක් හිටං හිටියට පස්සෙ තවත් සෙනග පොදියක් දොරේ එල්ලගෙන, සිංදු කියන, කෑගහන බීපු මිනිස්සු, බෙරිහං දෙන ළමයි, තොරණෙ ඕපදූප කතාවෙන ගෑණු, ආදිය පටෝගෙන බස්සෙක පිටත්වෙනව. ලයිට් නැති ඒ කාලෙ මගක් තොටක් හරියට හොයාගන්න බැරි හංදා තමුං බහින තැනට කලිං නැත්තං පහුවෙලා හරි බැහැගන්න මිනිස්සු නිදිමත බේරිබේරි ගෙවල්වලට යද්දි අපිත් හන්දියෙං බැහැල නිදිමතේ වැනි වැනී ගෙදර එනවා. 


ආච්චි අම්මගෙ 'බැටලියෙ' පිහිටෙං පල්ලම බැහැගන්න අපිට තාත්තව ඇහැරවගන්න තව වෙලාවක් යනව.

"ඒයි"

"බොලේ"

"ඕයි"

"බොලේ"

අම්ම එහෙම කතා කරද්දි නැන්දයි ආච්චි අම්මයි 


"ලොකුවයියේ"

"ලොකුවයියේ"

"ලොකු ළමයෝ"

"ලොකුඑකෝ"

කියල කෑ ගහනව. ඒ අතරෙ අම්ම මගේ අත අඹරෝල මට තර්ජනේ කරනව.

"තාත්තෙ කියහං"

"කියහං යකෝ"

මං කට හොල්ලන්නෙ නෑ. දොරගාවට ගිහිං දොරට ලනුව දාන්න දොර පියන හිල් කරල තියෙන තැනට කිට්ටු කරල මං ගෙනාපු නලාව පිඹිනව.


"පර්ර්ර්....පෑර්ර්ර්"


ගේ ඇතුලෙං දඩිබිඩි සද්දෙකුත් එක්ක දොර ඇරෙනව. මාව පස්සට විසිවෙනව. තාත්තා දොර පොල්ලත් අරං එලියට පනිනව.


"ඔහිටු පර බ්බල්ලා තොගෙ අඬු..."


ආච්චි අම්ම මාව පස්සට අරං උන්දැගෙ කෙසඟ සරීරෙ ඉස්සරහට ගන්නව.

"උඹට මොකා වැහිලද ලොකු එකෝ. කුම්බකරනෙය වගේ බුදි. ගං ඔන්නොය දොරපොල්ල මෙහෙට."


ආච්චි අම්ම මාව බේරල තාත්තගෙ අතේ තියෙන දොරපොල්ල අරගන්නව.


"අම්ම කෑ නොගහ ඉන්න. මුගෙ ඉලන්දාරිකම ගාන්ට වැඩියි."


තාත්තා ආයි ගොරෝනව.

"උඹක් ගිහිං බුදියහං. මුන්දෙන්නටත් බුදියන්න ඇරල. කටවහගෙන"

අම්මයි මායි ගෙට යද්දි තාත්තත් අපිට ඔරෝගෙන ගෙට ඇවිල්ල මගෙ නලාව ඇදල ඇරං බිම දාල පාගනව. නලාවෙ කට චප්පවෙලා යනව. ආච්චි අම්මා එක අතකිං දොර පොල්ලත් අරගෙන පල්ලම බහිද්දි නැන්දා ඊට පස්සෙං ටෝච්චෙක අල්ලගෙන යන්න යනව.





Sunday, October 29, 2017

තොරණ හෙවත් Pandol - 7 වලිය

ලිපෙන් බාපු හැලියකින් පිඟානට බෙදපු මයියොක්කා කෑලි ටිකක් වගේ අපිත් ඇඟේ දාඩිය නිවෙනකං බලාගෙන ඉන්නව. ඒ අතරෙ අපේ පියසේන මාමා විතර උස මිනිහෙක් ඔලුව වටේට ගැටගහපු පටියකිං අංගවිකල වෙච්චි බැලුම් බෝල වගයක් ඔලුව වටේ හයිකරගෙන කෑ ගහනව.

"පොඩි බබාගෙ විනෝදේ.... පොඩි බබාගෙ විනෝදේ.... බබ්බු බබ්බු බබ්බූ...."


මේක ඇහිච්චි ගමං මේ නං අපේ ළමයට අරන් දෙන්න ඕනිම දෙයක් කියල හිතන අම්මලා තමුංගෙ ළමයිංගෙං මෙහෙම අහනව.

"බොට ඕන්ද එකක්"

අපේ අම්මත් ඒක මගෙන් අහනව.

"එපා"

මං කියනව. අනික් ළමයිත් එහෙමම කියනව ඇති.

"අර අනික්වෑං එකක් ඇරං දෙන්නං"

බැලුංකාරය ගාව තියෙන තැඹිලිපාට බැලුං බෝල තුන හතරක් දිගටි බැලුමකිං අමුණපු "තැඹිලි වල්ලක්" කියල කියන තවත් ඒ වගේ බැලුං සුකුරුත්තමක් පෙන්නල අම්ම අහනව. 

"මටේපා ඒ හොරි පොකුර"

මං අඩිය පොලවෙ හප්පල කියනව.

"හිටාං තොට කිසියාම්ම කිසිදෙයක් ඇරං දෙන්නෑ. අම්පා"

අම්මා ආච්චිඅම්මව ඇපේට තියල දිවුරනව.

ළමයි ඉතාම සතුටට පත්වෙන පැනි රහ කෑම ජාති, බීම, අයිස්ක්‍රීම් වගේ කෑමක්වත්, වයිං කරන, බැට්ටි කෑලිවලින් වැඩකරන සෙල්ලං බඩුවක්වත් අරන් දෙන්න මේ වගේ ඇඟිල්ලෙං ඇනල අහන්නෙ නැති මහ අය කිසිම වැඩකට නැති මේ වගේ බහුබූත අරන් දෙන්න නං සෑහෙන මහන්සි වෙනව. ඒ විතරක් නෙවෙයි ඒවා සෙල්ලං බඩු විදිහට පිළිගන්න කියලත් තර්ජනේ කරනව. 

"වෙනිං කිසියම්ම කිසි දෙයක් අරං දෙන්නෑ" කියල තර්ජනය කරල බොහොම අමාරුවෙන් එයිං එකක් අරගන්න නෝනක්කව කැමති කරගන්න චන්දරෙ මාමලෑ නැංදට පුළුවං වෙනව. අපි හැමෝම ගිහිං බැලුංකාරයව වට කරගන්නව.

"ඕකක්කීයද?"

"බබෙද්දායයි, තැඹිලිවල්ලප්පාලවයි"

"බබෙද්දෙන්න"

බැලුංකාරයගෙ ඉන වටේට පැකැට් කීපයක් එල්ලල තියෙනව. බැලුංකාරය කිහිල්ලෙ ගහං ඉන්න හුලං පොම්පෙ අගිස්සට අර පැකැට්ටෙහෙකිං ගත්තු බැලුම් බෝලයක් අරගෙන හයිකරලා හුලං ගහනව. බැලුම්බෝලෙත් ගහ්ලබු ගෙඩියක් වගේ දිගටියට පිම්බෙනව. වෙලෙන්දා බැලුම පොම්පෙං ගලෝල අරං හුලං පිටවෙන්න නොදී කට හිර කරගන්නව. ඊළඟට තව පැකැට්ටෙකකිං ගන්න දියකූඩැල්ලෙක් විතර හීං බැලුමකටත් හුලං ගහනව. හුලං පාරවල් තුනෙං දියකූඩැල්ලා ගැඩවිලෙක් වෙලා, අහරකුක්කෙක් වෙලා, කොහු මිටක් විතර මහත වෙනව. ඒ වගේ දිය කූඩැල්ලො දෙන්නෙක් කොහු මිටි කරලා ගන්න වෙලෙන්දා කලිං පුම්බපු ගස්ලබ්බෙ අගිං ඩිංගක් මෙහා හරියෙං අල්ලල මිරිකලා හීං කරනව. ඊළඟට ඒ හීං වෙච්චි තැනට එක දිගටි බැලුමක මැද හේත්තු කරලා දෙකොන ඒ වටේට පටලවනව. අනික් දිගටි බැලුමත් අරගෙන ගස්ලබ්බෙ හුලං ගහපු කට ගාවටඑක කොනක් තියලා පටලවනව.

බැලුං බබෙක්


අපි බලා ඉන්දැද්දිම වෙලෙන්දා බබෙක් හදල ඉවරයි.


"ආ"


මේ අරුම පුදුම සුකුරුත්තම නෝනක්කගෙ ඇඟේ ගහන වෙලෙන්දා චන්දරෙ මාමගෙ අතේ තියෙන රුපියල් දහය ඇදල ගන්නව. මේ මොන ජාතියෙ සතෙක්ගෙ බබෙක්ද කියල හිතාගන්න බැරුව නෝනක්ක වටපිට බලනව. නෝනක්කා මේ සුකුරුත්තමට අකමැති වෙන බවක් දකින චන්දරෙ මාමලෑ නැන්දා 


"ආනේ..... මේක නං හරිම ලස්සනයි. කාටවත් දෙන්නෙපා."

කියලා තමුං මේ අරං දුන්නෙ ලෝකෙ තියෙන ලස්සනම සෙල්ලං බඩුව බව නෝනක්කට පෙන්නන්න හදනව. අපේ අම්මත් පුලුවං තරං කට ඇරලා පුදුම වෙච්චි බවක් පෙන්නලා ඒ තරං අලංකාර සෙල්ලං බඩුවක් කිසියම්ම කිසි තැනක නැති බවත් "මේ මූට ඒකක් ගන්න පිනක් නැති" බවත් කියලා චන්දරෙ මාමලෑ නැන්දට උදව්වෙනව.

"ඒ උනාට මේකෙ කකුල් නෑනෙ"

මගෙ කට ඇරෙනව. එතකොටම අපේ අම්මා මගෙ කට මිරිකල සද්දෙ වහනව. අන්තිමට මේ තරං අය කියන එකේ තමුන්ට හම්බුවෙලා තියෙන්නෙ ලෝකෙ තියෙන හොඳම සෙල්ලම් බඩුව වෙන්නැති කියල හිත හදාගන්න නෝනක්කට පුළුවං වෙනව.

"අඟහරු ලෝකයෙන් පැමිණි කුරුමිට්ටන්ගේ සංදර්ශනය. එන්න නර්රඹන්න. ප්‍රීතිවන්න"

තව තැනක තියෙන කඩ කාමරයක් ඉස්සරහ බැඳල තියන හතරැස් පීකර කටක් කෑ ගහනව. චන්දරෙ මාමලගෙ නැන්දට බය වෙන්නට තියෙන එකම හේතුව වන හුලං බබා ගැන මගේ අදහස් දැක්වීම හුළඟෙ යනවා. මට කුරුමිට්ටො බලන්න ඕන වෙනව. යන්තං ඉස්කෝලෙං අයිං වෙච්චි ගමං සල්ලි හම්බු කරගෙන දුරදක්නයක් අරං වහලෙ උඩ හයිකරගෙන "කඹරු ඉකෙයා" වගේ වෙන්න හිතා ඉන්න මට, විජය පත්තරේ මැද පිටුවල තිවිච්චි ඇපලෝ රොකට් සනුහරේම පොතක අලෝපු මට, අඟහරු ලෝකෙං ආපු කුරුමිට්ටො බලන්න නොයා ඉන්න පුළුවන්ද?


"අම්මෙ යං අම්මෙ"

"කොහෙද"

"කුරුමිට්ටො බලන්න"

"අනෙක් කටවහං හිටාං."

"අනෙ යංකො. එක පාරක් යංකො."

"මයෙ ගාව සල්ලි නෑ"

"අනෙ තීනොව. අර බැලුංබෝල ඇරං දෙන්නං කිව්වෙ. ඒ සල්ලි ඔලිං යංකො."

"කටවහං"

"මං ලොකු වෙච්චි ගමං සල්ලි හම්බු කොල්ල ඒ සල්ලි දෙන්නං"

අපි දෙන්නගෙ වාදෙ මැද්දට චන්දරෙ මාමලෑ නැන්ද පනිනව.

"මොකදක්කෙ"

"මේ මුට කුරුමිට්ටො බලන්න යන්න"

අම්මට කලිං මං උත්තර දෙනව. මගෙ කට වහන්න නියම වෙලාව මේක බව හිතන චන්දරෙ මාමලෑ නැන්ද මගෙ පැත්තට උදව්වට එනව.

"යං අක්කෙ ඒකත් බලන්න"


මිනී පෙට්ටිවල මිනිය වටේට දාන බලුප් වැල් දෙක තුනක්ම වටේට එල්ලපු දොරක් ගාව ඉන්න මිනිහෙක්  අඟහරු ලෝකෙට යන්න අපෙං සල්ලි ගන්නව.


"හැමෝම දික් කොරන්නෙ සීයෙ කොල, කවුරුවහ්ම මාරු සල්ලි ගේන්නෑ"


මිනිස්සුන්ට බැණ අඬගහන ගමන් ඉතුරු සල්ලි බේරන අඟහරුවා අපිව කඩේ ඇතුලට තල්ලු කරනව.

"දොරකඩ ටැක්ගැහෙන්නැතුව ඇතුල්ට යනවලා."

කඩේ ඇතුළ කිරි නැන්දගෙ දේවාලෙ වගෙයි. කිරිනැන්දගෙ දේවාලෙ ඇතුලෙත් ඉන්න රත්තරං බඩු පැළඳගෙන සාරි ඇඳපු දෙයියො එක්කොමත් තිර රෙද්දකිං වහල ඉන්නෙ. ඒ වගේම මෙතනත් පියං හතරෙ ජනේලයක් විතර කොටහක් තිරේකිං වහල තියෙන්නෙ. දොරකඩ ඉන්න මිනිහා බැන බැනා කඩේ ඇතුලට තල්ලු කරන සෙනග පැන්සල් ඇහිරුවා වගේ පිරිලා ඉඩක් නැතිම වෙනකොට මිනිස්සු කෑ ගහන්න පටං ගන්නව.


"අපික් කුරුමිට්ටො කියල හිතුවදෝයි. මේකස්සෙ වෙන ඉඩ නෑ..."


එතකොට දොරකොඩෙං ඔලුව ඇතුලට දාන අඟහරුවා ඒකට උත්තර දෙනව.


"බැයිනං යනව යන්න. හැබැයි සල්ලි අහපහු දෙන්නෑ"


අන්තිමට දොර උලුවස්සෙං ඇතුලට මනුස්සයෙක්ව රිංගවන්න බැරිවෙන තරම් පිරුණට පස්සෙත් එක මිනිහෙක්ව දොරකඩ වැහෙන්න තියන අඟහරුවා එලියෙ ඉඳං දොර වහනව. දොරකඩ හිටපු මිනිහව මිරිකිලා ඇතුලට විසිවෙනව. ඒ විදිහට සම්පූර්ණයෙං වහපු කාමරේ ඇතුලෙ කසාය මුට්ටියක් ගානට රත්වෙනකොට, පොඩි ළමයි දෙතුන් දෙනෙක් අඬන්න පටං ගන්නකොට එකපාරටම සද්දයක් ඇහෙනව.

"හූ...චු...හූ...චු....හූ...චු..හුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචුහුචු"

ඒත් එක්කම තිරේ දෙපැත්තට ඇරෙනව. ඉපදිලා සතියක්වත් නැති පොඩි ළමයි තරං උස මිට්ටො තුන්දෙනෙක් මගෙ කොට කලිසං විතර දිග දික් කලිසනුත් ඒ තරම්ම කොට කමිසත් ඇඳලා දනිස්ස ගාවට විතර උස සපත්තු දාලා ඔලුවටත් හෙල්මට් දාගෙන තිරේ පිටිපස්සෙං මතුවෙනවා. ඒ හෙල්මට්වලිං ඒරියල් කූරු දෙක ගානෙ දික්වෙලා. හෙල්මට් වලයි ඒරියල් කූරුවලයි හැමතැනම අස්සජි හාමුදුරුවො හදාදිපු බුදු රැස්මාලාවෙ ජාතියෙ පාට පාට කලාමැදිරි බලුප් නිවි නිවී පත්තු වෙනව.
කුරුමිට්ටෝ

හුචුහුචුව නැවතිලා සිංදුවක් පටං ගන්නව. ඉස්සරහ ඉන්න අය කුරුමිට්ටංව හොඳටම පෙන්නන්න හිතාගෙන  තමුංගෙ ළමයිංව වඩා ගන්නව. අඩි පහේ දෙමව්පියන්ට අඩියක් දෙකක් උස ළමයගේ උසත් එක්කහු වුනාම පිටිපස්සෙම ඉන්න අයට මොනවත් පේන්නැතුව යනව. එතකොට පිටිපස්සෙ ඉන්න අය කලුපාටිං කෑ ගහනව.


"ඔය ළමයි පාත් කොරල අල්ලගන්නවකො. අපිට පේන්නෑ."


එතකොට ඉස්සරහ ඉන්න අය කොළ පාටිං උත්තර දෙනව


"පේන්නැහ්නං ඉස්සිලා බලනව. අපි මේ පොඩි එවුන්ට පෙන්නන්නෙපෑ"


ඉස්සරහ අය උත්තර දෙනව. ඒ අතරෙ පිරිමි කෙනෙක් නිල්පාටිං සිංදුව පටං ගන්නව.


"පාවෙන පිරිසියක්කුඩ නැගලා පිටසක්කොලකිං මෙහාට වැහැලා ආවේ කුදකට ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ... 
අපිනන්නෑ කවදාවක් දැකලා පුදුමත් හිතෙනව දැක්කම ඔහෙලා පොඩ්ඩක් අහමුද වටපිට බලලා කුරුමිට්ටෝ....
කොයිදේසේ ඉඳලද එන්නේ.....


කුරුමිට්ටොත් එව්වට රතුපාටිං උත්තර දෙනව



"හැච හැච හෑචෑ හැචැ හැචැ හෑ"




"මෙහාට ආවේ කුමකටද"




"හැච හැච හෑචෑ හැචැ හැචැ හෑ"






ඔය විදිහට සිංදුව කියවෙද්දි කුරුමිට්ටො ටික තමුන්ට පණ තියෙන බව පෙන්නන්න ඕන හංදා අතපය හොලවන ගමං මොන්ටිසෝරියෙ ළමයි මල් නැටුමට ඔලුව හොලොවනව වගේ ඔලුවත් හොලවනව. කකුල් හොලවන්නෙ නෑ. ඒ වෙනුවට සපත්තුවෙ අගිස්ස විතරක් යංතං හොලවනව. ඒ අතරේ ඉස්සරහ පේලියෙ ළමයිංගෙ දෙමව්පියොයි පස්සෙ පේලියෙ පිරිමියි අතර වලිය දරුණු වෙනව.


"ගහනව තොපෙයි පැටවුංගෙයි ඔලුකටු කුඩුවෙන්න"


"ගහපියව් බලන්න. තොපිට දෙන්නෙ මොලකැටි විසිවෙන්න"


"තොපි වරෙව්කො තපස්සරකන්දෙං යන්න."


"දවසට පැය කීයක්ද එහේ.......


"හැච හැච හෑ චෑ හැච හැච හෑ"


"නැත්තං අපි උඩින්ද බොල යන්නෙ"


"කටවහගන්නවලකො ඕයි."


"අපිට මේක බලන්න දෙන්නැද්ද තවුසෙල"


"අරූට කට වහගන්න කියනව. අපි නෙමේ ඌනෙ පටංගත්තෙ"


වලිය දරුණුවටම ඇවිලෙද්දි සින්දුවෙ අග හරියට ඇවිල්ල සිංහලෙං කියන කෑලි ටික ඉවරයි. කුරුමිට්ටො විතරක් අන්තිම ටික කියනව.


"වව්වව්වවවවවවව්වව්වව් වව්වව්වවවවවවව්වව්වව් වව්වව්වවවවවවව්වව්වව් වව් වව් වා..."



ඒ ටික ඉවර වෙද්දී පටං ගනිද්දි තිබිච්චි හුචු හුචු සද්දෙ ඇවිල්ලා තිරේ වැහිල යනව. එලියට යන්න තියෙන දොර ඇරිලා හීතල හුලඟක් එක්ක හිරිගඩු පිපෙන සද්දෙං දොරකඩ ඉන්න කෙනා කෑ ගහනව.



"ආ... තව බලාහිිල්ල වැඩහ්නෑ. ඉක්මන්ට එළියටෙන්න. තව පුරාම අය ඉන්නව බලන්න."


රබර් ගෙඩ්ඩක් පිපිරුවහම ඇට දස අතේ විසිවෙනව වගේ අපිව කඩ දොරෙං එලියට විසිවෙනව. එතකොටම පිටිපස්සෙ හිටපු වලිකාරයා සෙනග පෙරලගෙන ඉස්සරහට පැනලා ඉස්සරහ පේලියෙ හිටිය මිනිහගෙ බෙල්ලෙං අල්ලගෙන පොදිය පිටිං මහපාරට විසිවෙනව. ඒ දෙන්නගෙ සරොං කැඩිල වැටෙනව. දෙමල චිත්තරපටිවල වගේ කොයිතරං ගහගත්තත් ලිහෙන්නෙ නැති වෙන්න සරං අඳින්න අපේ අයට බෑ. ඒ හංදා වලියක් පටං ගන්නෙම වලිකාරයංගෙ සරොං ලිහිලා ඉන පල්ලෙ හැලීමෙං. ඒ වෙලාවට තනි අතිං සරම අහුලන ගමං දෙන්නම අනික් අතිං ගහගන්නව. ඒ අතරෙ බැණගන්නවත් එක්ක.


"තෝ...තෝ ....තෝ....තෝ... කිව්ව නේද බොල..ඈ..."

අතිං හරි අතේ තියෙන ආවුදෙං හරි ගහනව ඇරෙන්න පයිං ගැහිල්ලක් කෙරෙන්නෙ නැති තරං. නිසියාකාරව පුහුණුවක් නැති හංදා ඒ අතිං ගහන පාරවල් වදින්නෙත් දුරාවාරෙ. එහෙම පාරක් වැදුනම

"තහ්. තොහ්."

"කිවුහ් තබ් තොක්"

"තක්"

"චක්"

වගේ සද්ද ඇරෙන්න චිත්තරපටිවල වගේ "දෲෂෘ", "බෲහූ" වගේ සද්ද ඇහෙන්නෙ නෑ. ඉඳල හිටල හරි පයිං ගැහුවොත් ඒකෙං වෙන්නෙ පයිං ගහපු කෙනාම බිම ඇදගෙන වැටෙන එක. 

"අනේ කවුරුඅරි මේක බේරන්නකෝ"


"අනේ මේ ළමයිංගෙ තාත්තව බේරගන්නකෝ"


ඉස්සරහ පේලියෙ වලිකාරයගෙ බිරින්දෑ බෙරිහං දෙනව. 

කොයිතරං භයානක වෙලාවක උනත් තමුංගෙ මනුස්සයගෙ නම කියලවත් නැත්තං "මගේ මනුස්සයා", "මගේ ස්වාමිපුරුෂයා", "මගේ ගෙදර එක්කෙනා" කියල තමුන්ගෙ සැමියව හඳුන්වන එක අපේ ගමේ කාන්තාවන්ගෙ සිරිත නෙවෙයි. එහෙම කියනවනං ඒක විලිලැජ්ජ නැතිකමක් කියලයි වයසක ගෑනු අය කියන්නෙ.  ඒ වෙනුවට "ළමීන්ගෙ තාත්තා" , "මුංගෙ තාත්තා" කියල තමයි තමුංගෙ ස්වාමිපුරුෂයව හඳුන්වන්න ඕන.  ඒක තමයි සීලාචාරකම.


ඒ කෑගැහිල්ල තුට්ටුවකටවත් ගනං නොගන්න වලිකාරයො දෙන්න සරොං නැතුව කමිසෙත් බොත්තං කඩාගෙන ලංකට් පිටිං රණ්ඩුවෙනව. තප්පර දෙක තුනෙං ඒගොල්ලංගෙ නෑයො, යාලුවො, අඳුරන අය, ඒ අයගෙ අඳුරන අය, යාලුවො එහෙම එකතුවෙලා මහ ගෝරියක් ඇදෙනව. චන්දරෙ මාමත් සරම කැහැපොට ගහගෙන


"පොඩ්ඩක් බලමු මොකද්ද කියල"


කියාගෙන ලැහැත්ති වෙනව. 


වලියක් යද්දි ඒක ඇහෙන පේන මානෙ ඉන්න පිරිමි හැමෝම ඒකට සහභාගි වෙන එක අපේ සිරිතක්. නැත්තං පස්සෙ දවසක ඒ ගැන වෙනිං තැනක කතාවෙද්දි වලියට නොගිය අයව හෑල්ලුවට ලක්වෙනව.


"අච්චර අර සෙනග ගොඩක් ගෝරියක පැටිල්ලා ඉද්දි සෝමය හිමීට මගෑර්ලදාල ගියා"


"ඕකුං ඔහොම්ම තමයි. ඉස්සෙරිං ඉඳම්ම බයගුල්ලො"


"ඒකනෙ ඕකුන්ට මොකක්වත් වෙච්චිකොට කවුරුවහ්ම නැත්තෙ"


ඒ හංදා වලියක් යද්දි අතට අහුවෙන ලාඩප්ප පොල්ලක්, ටෝච්චෙකක්, ගල් ගෙඩ්ඩක්, කොහුමිටක්, වගේ දෙයක් අරගෙන එහෙම නැත්තං පොල්ලක් ගහකිං කඩාගෙන, වැටකිං ගලෝගෙන හරි පිරිමියෙක් වසයෙන් වලිය මැද්දට පනින්න ඕනි. සමහර වෙලාවට තමුංගෙ අතේ තියෙන වෙනිං උපකරණයක් උනත් මේකට ගන්න පුළුවනි. බොහොම දරුණු චන්ඩි නං මේ වගේ වෙලාවට උල් පිහියක් අරගෙන වලිය මැද්දට පැනලා තමුංගෙ හතුරන්ගෙ බඩගෙඩි හිල් කරනවා. 


එක ගමනක් අපේ ගෙදර අයත් ඈඳලා අපේ ගෙවල් මණ්ඩියෙ පැතිරිලා ගිය කේලමක් හගිස්සවන වෙලාවකදි අපේ තාත්තත් කම්මලට ගිහිං එන ගමං අහම්බෙන් එතැන්ට කඩා වැදුනා. ඒ වෙලාවෙ තාත්තගෙ අතේ තිවුණෙ ඊට කලිං සතියෙ අම්මා ළිඳෙං වතුර ගේන ගමං ගලක් පල්ලෙ වැටිලා බිම වැදිල හිල්වෙච්චි ඇල්මේනියං කලගෙඩිය. ඒක කම්මලේ බාස් උන්නැහැ මොකද්දෝ විපිරියාසයක් කරලා පාහලා අලුතිං තින්ත ඩිංගකුත් ගාලයි දීල තිබුනෙ. හරියටම ඒ අපේ දැතිහුලස් නැන්දා අපේ අම්මට දොරවල් දහයකට කියන නමක් කියලා බැන අඬගහන වෙලාව. අන්න ඒ වෙලාවෙ අලුත පාස්සපු කලගෙඩියත් අරං නැන්දගෙ පිටිපස්සෙං මතුවෙච්චි අපේ තාත්තා කලේ කට දෑත බදල අල්ලගෙන නැන්දගෙ කොන්දට කලගෙඩියෙ බඩෙං පාරක් දුන්නා. ඒ වගේම තැඹිලි ගෙඩි ටික කපාගෙන කඩේ මිදුලෙ අහක විසිකරල තිවිච්චි තැඹිලි ඉත්තක් අරගෙනත් උන්දෑ දවසක් වලියක් මැද්දට පැන්නා.  

Google image - කලයක්

ඒ වුනාට චන්දරෙ මාමලගෙ නැන්දා චන්දරෙ මාමට වලිය මැදට පනින්න දෙන්නෙ නෑ. 


"මෙන්න මේ ළමය තියාගෙන ඉන්නව"

කියලා නෝනක්කව චන්දරෙ මාමගෙ අතට දෙනව. රටේ තියෙන ඕනම පණ නැති දෙයක් අරගෙන වලියක් මැදට පැනලා ඒක ආවුදයක් විදිහට පාවිච්චි කරන්න පුළුවං උණාට අංගවිකල හුලං බබෙක්ව කඩුව වගේ අල්ලගෙන ඉන්න පණ තියෙන ළමයෙක්ව එහෙම පාවිච්චි කරන්න බැරි හංදා චන්දරෙ මාමා සරම පාත දාගෙන නිහඩ වෙනව.